තාක්‍ෂණ සොරකමට දඩ

Image copyright

විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදනය කරන ‘ඇපල්’ සමාගමට හිමිකම් ඇති තාක්ෂණය කොපි කිරීම හේතුවෙන් ඩොලර් මිලියන එකසිය විස්සක අලාභයක් එම සමාගමට ගෙවන ලෙස කැලිෆෝනියාවේ ජූරි සභාවක් විසින් ‘ස්මාර්ට් ෆෝන්’ නිෂ්පාදක ‘සැම්සුන්’ සමාගමට නියෝග කරනු ලැබ ඇත.

එහෙත් ‘සැම්සුන්’ නිෂ්පාදන සඳහා සිය තාක්ෂණය යොදා ගැනීම සහමුලින්ම තහනම් කිරීමේ නියෝගයක් ලබා ගැනීමට ‘ඇපල්’ සමාගම අපොහොසත් වූ බවයි වාර්තා වන්නේ.

"slide to unlock"

ලෝකය පුරා ඇති එවැනි සමාගම් තම තමන්ගේ තාක්ෂණික අදහස් සොරකම් කරන්නේ යැයි එකිනෙකාට චෝදනා කර ගනිමින් නීතිමය අරගලයක යෙදී සිටියද, ‘ස්මාර්ට් ෆෝන්’ නිෂ්පාදක ‘සැම්සුන්’ සමාගමෙන් ‘ඇපල්’ සමාගමට මෙවර ගෙවීමට සිදුව ඇති මුදල එම ක්ෂේත්‍රයේ නියම කෙරුණ විශාලතම දඩ මුදල් වලින් එකක් බව පැවසෙයි.

ජංගම දුරකථන ‘අයි පෑඩ්’ වැනි විද්‍යුත් භාණ්ඩවල මූණත අතින් ලිස්සා යවා එහි වෙනත් පිටුවකට පහසුවෙන් යාම සඳහා තමන් විසින් සොයා ගන්නා ලද "slide to unlock" තාක්ෂණය සැම්සුන් සමාගම විසින් කොපි කර ඇති බවයි, ඇපල් පරිගණක සමාගම පවසන්නේ.