ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමයට කැපවන්න - පාප් වහන්සේ

Image copyright PA

ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය වෙනුවෙන් කැප වන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලාංකික රදගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිති.

අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපානන් ප්‍රමුඛ ශ්‍රී ලාංකික රදගුරුවරුන් පිරිසක් සෙනසුරාදා රෝමයේදී මුණගැසුණු අවස්ථාවේදීයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ ඉල්ලීම කළේ.

ආගමික සංහිඳියාව ගැන කථා කළ පාප් වහන්සේ ආගමික අන්තවාදය පිළිබඳව ද අදහස් දක්වා තිබේ.

සුබ සාධන කටයුතු

කතෝලික සභාව විසින් සිදුකරණ සුබ සාධන කටයුතු උන්වහන්සේගේ පැසසුමට ලක්වූ අතර විශේෂයෙන් 2004 සුනාමි ව්‍යසනය හට ගත් අවස්ථාවේදී කැරිටාස් (Caritas) සංවිධානය ඉටු කළ සේවයද ඇගයුමට ලක් කෙරිණ.

දිළිඳු ජනතාව වෙනුවෙන් දිගටම කැපවන ලෙසද උන්වහන්සේ රදගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

ගාල්ල දියෝකීසියේ රදගුරු සහ කතෝලික සභාවේ ජන සන්නිවේදන භාර ආචාර්ය රේමන්ඩ් වික්‍රමසිංහ සාකච්ඡාවේ තොරතුරු බීබීසි යට හෙළි කරමින් කියා සිටියේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට විශාල කැමැත්තකින් සිටින බවයි.