‘ඔදෙස්සා’ ගැටුම්වලින් හතළිස් දෙදෙනෙක් මරුට

Image copyright Reuters

රුසියානු ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් සහ යුක්රේන් ආණ්ඩුවේ හමුදා අතර ඊයේ සිකුරාදා ‘ඔදෙස්සා’ නගරයේ සිදු වූ ගැටුම් වලින් ජීවිත හතළිස් දෙකක් විනාශ වූ බව පොලිසිය පවසයි.

රුසියාවට හිතවත් පුද්ගලයන් බහුතරය වූ කණ්ඩායමක් සිර වී සිටි ගොඩනැගිල්ලකට පැට්රල් බෝම්බවලින් පහර දී ගිනි තබනු ලැබීමෙන් තිස්හත් දෙනකු මරණයට පත් වූ බවයි, මුලින් වාර්තා කෙරුණේ.

‘ඔදෙස්සා’ නගරයේ පොලිස් ප්‍රධානී පෙත්‍රෝ ලුත්ස්යුක් තනතුරින් පහ කරන ලද බව ‘ඉන්ටර්ෆෙක්ස්’ යුක්රේනියානු මාධ්‍ය ආයතනය වාර්තා කරයි.

රුසියාවට හිතවත් බෙදුම්වාදීන් විසින් අල්ලා ගෙන ඇති ‘ස්ලෝවියාන්ස්ක්’ නගරය යළි සිය පාලනය යටතට ගැනීමට යුක්රේන් හමුදා දිගටම මෙහෙයුමක නිරත වෙමින් සිටින බව කලින් ලද වාර්තා මගින් ප්‍රකාශ විය.

Image copyright Reuters

‘ක්‍රමතෝර්ස්ක්’කලාපය අසල පිහිටි රූපවාහිනී කුළුණක් යුක්රේන් හමුදා අතට යළි පත් වූ බවක් ද වාර්තා වෙයි.

නිරීක්‍ෂකයන් නිදහස්

රුසියාවට හිතවත් කණ්ඩායම් විසින් නැගෙනහිර යුක්රේනයේ දී රඳවා ගනු ලැබ සිටි යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ නිරීක්ෂකයන් අට දෙනා මුදා හැර ඇති බවක් ද මේ අතර නිවේදනය කෙරිණ.

ඔවුන් සමඟ සිටි යුක්රේන් ජාතිකයන් පස් දෙනකු ද මුදා හරිනු ලැබ ඇත.

එම නිදහස් කිරීම් සිදු වුණේ රුසියාවේ නියෝජිතයෙක් යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ ඉහත කී නිරීක්ෂකයන් රඳවනු ලැබ සිටි ‘ස්ලෝවියාන්ස්ක්’ නගරයට ලඟා වීමෙන් අනතුරුවයි.

එම කණ්ඩායම මුදා හැරීමට පියවර ගන්නා මෙන් බටහිර රටවලින් රුසියාවට බලපෑම් එල්ල වෙමිනුයි තිබුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර