තුර්කි ආකර පිපිරීමෙන් දෙසීයකට අධික ජීවිත විනාශයක්

Image copyright AP

තුර්කියේ ගල් අඟුරු ආකාරයක ඇති වූ පිපිරීමකින් දෙසීයකට අධික ජීවිත විනාශයක් සිදුව ඇති බවට වාර්තා ලැබෙමින් පවතී.

පොළව මට්ටමේ සිට කිලෝමීටර් දෙකක් තරම් ගැඹුරු ආකර පත්ලෙහි බලශක්ති යන්ත්‍රයක් පුපුරා යාමෙන් පසු වැඩි දෙනෙක් මරණයට පත්ව තිබෙන්නේ කාබන් මොනොක්සයිඩ් විෂ වායුවට ගොදුරු වීමෙන්.

බලශක්ති යන්ත්‍රය පුපුරා යාමත් සමඟ විදුලි බලය ඇනහිට ඇති අතර, ඒ සමඟම ආකරයට වායුව සැපයුමත් නතර වී ඇති බවයි තුර්කියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

තවත් පිරිසක් ඇතුළේ

බටහිර තුර්කියේ ‘සෝමා’ ප්‍රදේශයේ පිහිටි අනතුර සිදු වූ ආකරය අභ්‍යන්තරයේ දෙසීයකට අධික තවත් කම්කරුවන් සිර වී සිටින බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

තුර්කි බලශක්ති ඇමති ටනර් යිල්දිෂ් ප්‍රකාශයක් කරමින්, බේරා ගැනීමේ මෙහෙයුමට අවහිර කරමින් ආකරය අභ්‍යන්තරයේ ගින්න තවමත් ඇවිලෙමින් ඇති හෙයින් දිවි රැකුන පුද්ගලයන් ගොඩ ගැනීමේ බලාපොරොත්තු බොඳ වී යමින් ඇති බවයි කියා සිටියේ.

කාබන් මොනොක්සයිඩ් විෂ වායුව අනතුරුදායක මට්ටමින් පැතිර තිබුණ අවස්ථාවක බේරා ගැනීමේ මෙහෙයුම අත්හිටුවන ලද බවක් ද වාර්තා විය.

තුර්කි අගමැති රිසෙප් තය්යිප් එර්දොගන්,අනතුර සිදු වූ ගල් අඟුරු ආකරය පිහිටි ස්ථානය කරා යාමට සැලසුම් කළත් එම සැලසුම් අවලංගු කෙරුණ බවක් ද වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර