තායි ආණ්ඩු විරෝධී කඳවුරකට ප්‍රහාරයක්

Image copyright Getty Images

තායිලන්තයේ බැංකොක් අගනුවර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට වෙඩි තැබීමෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් විසි දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබති.

තායිලන්තයේ භාරකාර රජය ඉල්ලා අස්විය යුතු බවයි උද්ඝෝෂකයන් ඉල්ලා සිටින්නේ.

බැංකොක්හි 'ප්‍රජාතන්ත්‍ර' ස්මාරකය අසල පනවා තිබූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ගේ කූඩාරමක් දෙසින් බ්‍රහස්පතින්දා අලුයම පිපිරීම් සහ වෙඩි හඬ ඇසුණු බවයි සිද්ධිය දුටුවන් පැවසුවේ.

බැංකොක් නුවරට පිටතින් සිදුවූ තවත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් හේතුවෙන් වැඩබලන අගමැති නීවත්තම්රොන්ග් බූන්සොන්ග්පින්ග්සාන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර හමුවකටද බාධා පැමිණ තිබේ.

සාකච්ඡාව පැවැත්වෙමින් තිබු ගුවන් හමුදා කඳවුරකටයි විරෝධතා කරුවන් කඩා වැදී තිබෙන්නේ.

දේශපාලන ක්‍රමය

උද්ඝෝෂකයන්ගේ අපේක්ෂාව මැතිවරණය පැවැත්වීමට පෙර දේශපාලන ක්‍රමයේ වෙනස් වීමක් ඇති කිරීමයි.

රජය ජුලි මස අලුත් මහ මැතිවරණයක් සංවිධානය කිරීමට උත්සාහ කරමින් සිටියි.

බලය අයුතු අන්දමින් පාවිච්චි කිරීම හේතුවෙන් අගමැතිනි යින්ග්ලක් ශිනවත්රාට ඉල්ලා අස්වන මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය පසුගිය සතියේ නියෝග කළේය.