මෝඩි: ආදරයට හා අප්‍රසාදයට ලක් නායකයා

Image copyright Getty

අගමැති ධුර අපේක්ෂකයා ලෙස භාරතීය ජනතා පක්ෂයෙන් මහා මැතිවරණයට තරඟ කල නරේන්ද්‍ර මෝඩි මෙවර මැතිවරණයේ තීරණාත්මක දේශපාලන නායකයා හැටියටයි හැදින්වෙන්නේ.

ජනතාවගේ ආදරයටත් පිළිකුලටත් එක හා සමාන ලෙස ලක් වූ නායකයෙක් නරේන්ද්‍ර මෝඩි.

ඔහු මහා මැතිවරණයට තරඟ කළේ එක තැන පල් වෙන ඉන්දියානු ආර්ථිකය පණ ගන්වමින් රැකියා අවස්ථා උදා කර දෙන බවට පොරොන්දු වෙමින්.

සංවර්ධනය සහ වෙළඳ කර්මාන්ත වෙනුවෙන් පෙනී සිටින නායකයෙක් ලෙස තමන් හුවා දක්වන මෝඩි තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී නාගරික මධ්‍යම පන්තියේ මෙන් ම ග්‍රාමීය ජනතාවගේ ද ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ දේශපාලනඥයෙක්.

ඔහු කෙරෙහි තැබූ බලාපොරොත්තු සහ අනාවැකි අභිබවා ගිය අති විශිෂ්ට මැතිවරණ ජයග්‍රණයක් දිනා ගැනීමට මෝඩි සමත් ව සිටියි.

මැතිවරණ වේදිකාවේ දී අනාගත අගමැතිවරයා ලෙස පෙනී සිටීමට උත්සාහ කළ මෝඩි උරුම කියන්නේ මතභේදකාරී ඉතිහාසයකටයි.

2002 වසරේ ගුජරාටයේ පැතිර ගිය හිංදු මුස්ලිම් කෝලාහල මැඩපැවැත්වීමට මැදිහත් නොවූ මතභේදකාරී ප්‍රාදේශීය නායකයෙක් හැටියට යි එකල ඔහු විවේචනයට ලක් වුනේ.

නරේන්ද්‍ර මෝඩි ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන, අනුකම්පා විරහිත, තම පාක්ෂිකයන්ගේ පවා විරුද්ධ මත පිළිනොගන්නා, උන්නතිකාමී නායකයෙක් බවයි වාර්තාකරුවෝ පවසන්නේ.