ද කොරියානු වෙරළාරක්ෂක සේවය විසුරුවා හැරීමට පියවර

Image copyright REUTERS
Image caption කඳුළු පිරි දෙනෙතින් යුතුව ජාතිය ඇමතූ දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් හේ

දකුණු කොරියාවේ වෙරළාරක්ෂක සේවය විසුරුවා හැරීමට තීරණය කළ බව දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් හේ නිවේදනය කළාය.

ඇය මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය මාසයේ නෞකාවක් දියබත් වීමෙන් පාසැල් සිසුන් ඇතුළු තුන් සියයකට අධික පිරිසක් මරණයට පත්වීමෙන් අනතුරුවයි.

විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ප්‍රමාණවත් යමක් සිදු කර නැති බවට දකුණු කොරියානු වෙරළාරක්ෂක සේවයට චෝදනා එල්ල වී තිබේ.

මේ පිළිබඳව පරීක්ෂණ පැවත්වීම පොලිසියට භාර වී ඇති අතර වෙරළාරක්ෂක සේවය සතු රාජකාරි ජාතික හදිසි ආරක්ෂක මණ්ඩලයට පැවරෙනු ඇත.

බලධාරීන් සහ නාවුක සමාගම් අතර පවතින වංචා සහ දුෂණ සහමුලින්ම මැඬලීමට කටයුතු කරන බවටද රූපවාහිනියෙන් ජාතිය ඇමතූ දකුණු කොරියානු ජනාධිපතිනිය ප්‍රතිඥා දුන්නාය.

තුන්සියයකට අධික පිරිසකට මරු කැඳවූ මෙම අනතුර හමුවේ ඇයගේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව දැඩි විවේචන එල්ල වූ අතර ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියානු අගමැතිවරයා සිය තනතුරින් ඉල්ලා අස් විය.

Image copyright Reuters
Image caption පාසැල් සිසුන් ඇතුළු තුන් සියයකට අධික පිරිසක් මරණයට පත් කරමින් ගිලී ගිය නෞකාව

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර