මෝඩිගෙන් ශ්‍රී ලංකාවට ආරාධනා

Image copyright AFP

ඉන්දියාවේ අගමැතිවරයා හැටියට ලබන සඳුදා දිව්රුම් දීමට නියමිත නරේන්ද්‍ර මෝඩි එම අවස්ථාවට සහභාගී වෙන මෙන් කරන ලද ආරාධනාවක් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාරගනු ලැබ ඇත.

ජනාධිපතිවරයා එම උළෙලට සහභාගී වෙන බව ඉන්දියාවේ සිටින ශ්‍රීලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් බීබීසීයට ප්‍රකාශ කළේය.

නරේන්ද්‍ර මෝඩි සිය දිව්රුම් දීමේ උළෙලට එක්වෙන මෙන් පාකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් ඇතුළු දකුණු ආසියානු කලාපයේ සෙසු රාජ්‍ය නායකයන්ට ද ඇරයුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අගමැතිවරුන් පදවියේ දිව්රුම් දීමේදී විදේශීය රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයක් මින් පෙර සිදු වී නැති අතර, හොඳහිත සහ මිත්‍රත්වය පළ කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් නරේන්ද්‍ර මෝඩි එවැනි පියවරක් ගනු ලබන බවයි පෙනී යන්නේ.

මේ අතර නරේන්ද්‍ර මෝඩි තමා දොළොස් වසරක් දැරූ ගුජරාට් මහඇමති පදවියෙන් ඉල්ලා අස් වූ බවත් වාර්තා වෙයි.

මෙවර ඉන්දීය මහමැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය වාර්තාගත මට්ටමේ ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට නරේන්ද්‍ර මෝඩි සමත් විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර