තායිලන්ත සාකච්ඡා තීරණයකින් තොරයි

තායිලන්තයේ හමුදාපතිවරයා, එරට දේශපාලන අර්බුදයේ කොටස්කරුවන් වී සිටින සියලු දේශපාලන කණ්ඩායම් වල නායකයන් සමග පැවැත්වූ සාකච්ඡා නිම වූ බව වාර්තා වේ.

හමුදාපතිවරයා රටේ දේශපාලන නායකයන් හමු වන්නේ පසුගිය අඟහරුවාදා සිට තායිලන්තය පුරා හමුදා නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුවයි.

තායිලන්ත ආණ්ඩුවේ නායකයන්, උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ කථානායකවරයා සහ ආණ්ඩුවට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ වල යෙදී සිටින කණ්ඩායම් දෙකේ නායකයන් හමුදාපතිවරයා සමග සාකච්ඡා වලට සහභාගී විය. සාකච්ඡා නිමාවට පත් ව ඇත්තේ අවසාන තීරණයකින් තොරවයි.

ආපසු නිවෙස් වලට ගොස් රට තුල උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිරාකරණය කර ගත හැක්කේ කෙසේද යන්න ගැන සිතා බලන මෙන් හමුදාපතිවරයා සාකච්ඡාවට සහභාගී වූ කණ්ඩායම්වලින් ඉල්ලා සිටි බවයි තායිලන්ත වාර්තා මගින් පැවසෙන්නේ.

තායිලන්ත හමුදාව ආරක්ෂක කටයුතු වල පමණක් නිරත වේද නැතහොත් බොහෝ දෙනා විශ්වාස කරන පරිදි රටේ පාලන බලය ඔවුන් අතට ගනී ද යන්න මෙම සාකච්ඡාවෙන් පසු පැහැදිලි වනු ඇති බවයි බීබීසී වාර්තාකරු කියා තිබුණේ.

මේ අතර පල වී ඇති වාර්තාවකින් පැවසෙන්නේ භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා ඉල්ලා සිටි පරිදි නව මහ මැතිවරණයක් පැවැත්වීමට තායිලන්ත මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බවයි.

වාර්තාකරුවන් පවසන්නේ තායිලන්තය පාලනය කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න පැහැදිලි නැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර