ඇෆ්ගනිස්ථානයේ ඉන්දීය කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක්

Image caption පැය අටකට ආසන්න කාලයක් ප්‍රහාර පැවති බව වාර්තා වේ

ඇෆ්ගනිස්ථානයේ හෙරාට් නුවර ඉන්දීය කොන්සල් කාර්යාලය ආයුධ සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයකට ලක් විය.

ප්‍රහාරය පැය අටකට ආසන්න කාලයක් එල්ල කෙරුණ බව ඇෆ්ඝන් වාර්තාවන්හි දැක්වෙයි.

අයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙක් ඉන්දියානු කොන්සල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල ආසන්නයේ ඇති වෙනත් ගොඩනැගිල්ලකට හිරු උදාවට පෙර ඇතුල්ව සිටි බවයි පොලිසිය පවසන්නේ.

ඉන්දීය ආරක්ෂකයින්ගේ වෙඩි තැබීම් හමුවේ එක් ප්‍රහාරකයෙක් මරුණුවට පත් වූ බවත් ප්‍රකාශ වෙයි.

ඇෆ්ගනිස්ථාන් ආරක්ෂක අංශ ඉහත කී ගොඩනැගිල්ල වටලා ඇති නමුත් එහි සිටි සන්නද්ධ පුද්ගලයන්ගෙන් ඔවුන්ට දරුණු ප්‍රතිප්‍රහාර එල්ල වී ඇත.

සිය කාර්ය මණ්ඩලය ආරක්ෂා සහිතව සිටින බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ සමාරම්භක උත්සවය පැවැත්වීමට පෙර ප්‍රහාරය දියත් වූ අතර, ඇෆ්ගනිස්ථාන් ජනාධිපතිවරයාත් එම උත්සවයට සහභාගී වීමට නියමිතයි.

'හෙරාට්' නුවර මධ්‍යයේ පිහිටි දැඩි ආරක්ෂා සහිත ඉන්දීය කොන්සල් කාර්යාල භූමියට මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳ දැඩි විවේචන එල්ල වී ඇති බව එහි සිටින බීබීසී වාර්තාකරු පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර