ගූගල් වෙබ් අඩවියෙන් අලුත් මෙහෙයුමක්

Image copyright AP

අන්තර්ජාල පිරිසුම්වලදී තම පුද්ගලික තොරතුරු කරා ලඟා විය හැකි පිවිසුම් මාර්ග ඉවත් කරන මෙන් වෙබ් අඩවිවලින් ඉල්ලා සිටීමට යුරෝපීයයන්ට අවස්ථාව උදා කෙරෙන නව සේවාවක් හඳුන්වා දීමට ගූගල් අන්තර්ජාල සමාගම විසින් තීරණය කර ඇත.

අන්තර්ජාලයේ සිදු කෙරෙන පිරික්සුම්වලදී දැනට පවතින ප්‍රධානතම පිරික්සුම් යතුර වන්නේ ‘ගූගල්’ වෙබ් අඩවියයි.

ගූගල් වෙබ් ජාලය විසින් මුලින් කී තීරණය ගනු ලැබ තිබෙන්නේ යුරෝපා අධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුවක් හේතුවෙන්.

එම නඩු තීන්දුවෙන් පැවසෙන්නේ, අදාළ නොවන සහ යල්පැන ගිය තොරතුරු ඉවත් කරන මෙන් ඉල්ලීමක් ඉදිරිපත් කෙරුනොත් ඊට ඉඩ සැලසිය යුතු බවයි.

පෞද්ගලිකත්වය රැක දීම

Image copyright AP

තම නිවස වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් පළ කළ දැන්වීමක තොරතුරු යොදා ගනිමින් අන්තර්ජාල ග්‍රාහකයන් පිවිසීම නිසා සිය පෞද්ගලික නිදහසට බාධා පැමිණි බවට ස්පාඤ්ඤ ජාතිකයකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් යුරෝපා අධිකරණය, පෞද්ගලික ඉල්ලීම් මත කල් ඉකුත් වූ සහ නො වැදගත් තොරතුරු වෙබ් අඩවියෙන් ඉවත් කරන ලෙසයි නියෝග කර තිබුණේ.

ගූගල් සමාගම පවසන්නේ යුරෝපයෙන් ඉදිරිපත් වීමට හැකි ඉල්ලීම් විශාල ප්‍රමාණයක් විභාග කිරීමේ දීර්ඝ කාලීන විධික්‍රමයක් හඳුන්වා දීමට ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහ ස්වාධීන විශේෂඥයන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් ගූගල් සමාගම ප්‍රකාශ කළේ, ඉල්ලීම් ඉදිරිපත් කරන පුද්ගලයන්ගේ තොරතුරු වෙබ් අඩවිවලින් ඉවත් කිරීමට නම් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනය, ඉල්ලීම ඉදිරිපත් කිරීමට හේතු, පුරවැසි භාවය, ජාතිය පමණක් නොව තමා හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් අයැදුම් පත්‍රයක් ද ඉදිරිපත් කිරීමට සිදු වන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර