යුක්රේනය යුද මෙහෙයුම් දැඩි කරයි

Image copyright AP

නැගෙනහිර යුක්රේනයේ නීතිය සහ සාමය යළි ස්ථාපනය කරන තෙක් එම කලාපයේ ක්‍රියාත්මක වෙමින් සිටින රුසියාවට හිතවත් කැරලිකරුවන්ට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග සහිතව සිය හමුදා පෙරට ගමන් කරනු ඇතැයි යුක්රේන් ආණ්ඩුව කියා සිටියි.

යුක්රේන් ආණ්ඩුවේ වැඩබලන ආරක්ෂක ඇමති මිහයිලෝ කොවල් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, දේශසීමාව බද කලාපයන්හි යුද මෙහෙයුම් දිගටම ක්‍රියාවට නංවන බවයි.

එම ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය මට්ටමට හැරෙන තෙක් සිය මෙහෙයුම් පෙරට ගෙන යන බවයි ඇමතිවරයා පවසන්නේ.

තවදුරටත් අදහස් දැක් වූ යුක්රේන් ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළේ, ‘දන්යෙස්ක්’ සහ ‘ලුගාන්ස්ක්’ පළාත් දෙක රුසියාවට හිතවාදී බෙදුම්වාදීන්ගෙන් දැනටමත් මුදා ගෙන ඇති බවයි.

සන්නද්ධ කණ්ඩායමක් විසින් ඊයේ බ්‍රහස්පතින්දා යුක්රේන් හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම හෙලන ලද අතර, එමගින් ජනරාල්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් දාහතර දෙනකු මරණයට පත් විය.

මේ අතර රුසියාව පවසන්නේ,කැරලිකරුවන්ට එරෙහිව යුක්රේනය ගෙනයන යුද මෙහෙයුමේදී පාසල් සහ රෝහල් ද ඊට ඉලක්ක වී ඇති අතර එමගින් ජීවිත ගණනාවක් ම විනාශ කෙරුණ බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර