හුසේන් ගේ ආධාරකරුවෝ විරෝධතාවයක

Image copyright AFP
Image caption අල්තාෆ් හුසේන් කරච්චි ප්‍රදේශයේ වැඩි බලයක් පවතින එම් කිවු එම් පක්ෂයේ නායකයායි

ජුනි 3 වෙනිදා ලන්ඩනයේදී අත් අඩංගුවට ගන්නා ලද පාකිස්තානයේ බලගතු දේශපාලන නායකයකු වන අල්තාෆ් හුසේන් ගේ ආධාරකරුවන් දහස් ගණනක් දෙවැනි දිනයටත් කරච්චි අගනුවර මධ්‍යයේ බිම වාඩි වී විරෝධතාවයක යෙදී සිටිති.

අල්තාෆ් හුසේන් කරච්චි ප්‍රදේශයේ වැඩි බලයක් පවතින එම් කිවු එම් පක්ෂයේ නායකයායි.

සිය නායකයා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආධාරකරුවන් ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් පළ කරනු ඇතැයි එක් කෝටි අසූ ලක්ෂයක ජනගහනයක් වෙසෙන කරච්චි නගර වාසීහු තැති ගෙන සිටිති.

එහෙත් එම් කිවු එම් පක්ෂයේ නස්රීන් ජලීල් පවසන්නේ සියලු උද්ඝෝෂණ සාමකාමී ව පැවැත්වෙනු ඇති බවයි.

“අපි ඊයේ ඉඳල මෙතන වාඩිවෙලා ඉන්නවා. අපේ නායක අල්තාෆ් හුසේන් ගෙන් පණිවුඩයක් ලැබෙන තුරු අපි මෙතන වාඩිවෙලා ඉන්නවා. මෙහෙම වාඩිවෙලා ඉඳල අපේ ආධාරකරුවන්ට සහ ජනතාවට අපි පෙන්නල දීල තියනව කොහොමද සාමකාමීව තමන්ගේ හැගීම් ප්‍රකාශ කරන්නේ කියල” යනුවෙන් ඔහු පැවසීය.

සිය නායකයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ව තම ප්‍රබල අවධානය පළ වී තිබෙන අතර, ඔහුට ඇප ලබා ගැනීම පිණිස අයදුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ ප්‍රකාශකයෙක් බීබීසීයට කියා සිටියේය.