‘තියනෑන්මන්’ විසිපස් වෙනි සමරුවට බාධා

Image copyright AFP

චීනයේ ‘තියනෑන්මන්’චතුරශ්‍රයේ ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර මැඩලීමේ විසිපස් වෙනි සංවත්සරය උදාවත් සමඟ දහස් ගණනක් හමුදා භටයන් නිරත කරමින් එහි ආරක්‍ෂක විධිවිධාන තර කර ඇතැයි බේජිං නගරයෙන් වාර්තා වෙයි.

මෙයින් වසර විසිපහකට පෙර පෙරට ගිය ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය සහ එය මර්දනය කෙරුණ ආකාරය සැමරීමේ හෝ සාකච්ඡාවට ගැනීමේ සියලුම සැලසුම් තහනම් කරනු ලැබ ඇති බවයි එම වාර්තා මගින් පැවසෙන්නේ.

‘තියනෑන්මන්’චතුරශ්‍රයට ලඟා වෙන මහජනයාගේ හැඳුනුම්පත් පරීක්ෂා කෙරෙමින් ඇති අතර ඔවුන්ගේ අත ඇති ගමන් මලු ආදිය පවා පරීක්‍ෂාවට ලක් කෙරෙයි.

යුද්ධ ටැංකි (tank) චතුරශ්‍රය (square) සහ රුධිරය (blood) ආදී වචන උපයෝගී කර ගනිමින් අන්තර්ජාල තොරතුරු සොයා යාමේ සෝදිසි පහසුකම් වලට පවා අවහිර කරණු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුවේ වාරණය

1989 වසරේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ‘තියනෑන්මන්’චතුරශ්‍රයේ නැගී සිටි ශිෂ්‍යයන් ඉන් ඉවත් කිරීමට යුද හමුදාව ගත් ක්‍රියාමාර්ගවල දී සිය ගණනක් මරා දැමුණ බවයි පැවසෙන්නේ.

Image copyright AP

එහෙත් ඇතැම් ඇස්තමේන්තු කිරීම්වලට අනුව මරා දැමුණ සංඛ්‍යාව දහස් ගණනකි.

මෙම විසිපස් වැනි සංවත්සරය උදාවත් සමඟ පසුගිය සතිවල චීන ක්‍රියාධරයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබන ලද බවත් වාර්තා වෙයි.

‘තියනෑන්මන්’ චතුරශ්‍රයේ දී හමුදා මර්දනයට ගොදුරු වූවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබ ඇති ඉටි පහන් දැල්වීමේ වාර්ෂික සමරු මෙහෙයට දෙලක්‍ෂයක පමණ වාර්තාගත් මහජන සහභාගිත්වයක් බලාපොරොත්තු වෙන බව මේ අතර හොංකොං දූපතේ සංවිධායකයෝ පවසති.

හොංකොං සමරු මෙහෙය

Image copyright AP

යටත් විජිතයක්ව පැවති දූපත 1997 වසරේ බ්‍රිතාන්‍ය පාලනයෙන් චීනයට භාර දෙනු ලැබීමෙන් අනතුරුව හොංකොං සඳහා “ එක රටක් - ක්‍රම දෙකක්” පිළිවෙත හඳුන්වා දෙනු ලැබුණ අතර, චීනයේ ප්‍රධාන භූමියේ ජනතාව භුක්ති නොවිඳින නිදහසක් දූපත් ජනතාව සතුව ඇත.

ආණ්ඩුවේ වාරණය නිසා චීන තරුණ ප්‍රජාව 1989 ‘තියනෑන්මන්’මර්දනය පිළිබඳව කිසිදු අවධානයක් යොමු නො කරන තත්වයක් හමුවේ හොංකොං දූපතේ සමරු මෙහෙය ඉතා සුවිශේෂී තත්වයක් හිමි කර ගන්නා බවයි, විශ්ලේෂකයන් පවසන්නේ.

‘තියනෑන්මන්’ මර්දනයේ මෙම විසිපස් වැනි සංවත්සරයේ උදාවත් සමඟ ප්‍රකාශයක් නිකිත් කරන ජපානය මානව හිමිකම් තත්වය නංවා ලන මෙන් චීනයෙන් ඉල්ලීමක් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර