ප්‍රාණ ඇපයට ගත් සරසවි සිසුන් මුදා ගැනේ

Image copyright .

ඉරාකයේ රමාඩි නගරයේ සරසවියකට කඩා වැදුනු සටන්කාමීහු, තමන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සිය ගණනක් ආරක්ෂක හමුදා සමග පැවති වෙඩි හුවමාරුවකට පසු නිදහස් කිරීමට පියවර ගත්හ.

බෑග්ඩෑඩ් අගනුවරට බටහිරින් රමාඩි නගරයේ පිහිටි අන්බර් සරසවියේ මුරකරුවන් තුන් දෙනා වෙඩිතබා ඝාතනය කළ ඔවුහු එහි පාලනය තමන් අතට ගෙන තිබුණි.

සරසවියේ නේවාසික ශිෂ්‍යයන්ට නේවාසිකාගාර තුළට වී සිටින ලෙසට ඔවුන් නියෝග කර තිබූ අතර තවත් සිසුන් සහ ගුරුවරුන් රැසක් අනෙකුත් ගොඩනැගිලි තුළ කොටු වී සිටි බවයි වාර්තා වන්නේ.

සරසවිය වැටලූ ඉරාක ආරක්ෂක හමුදා සටන්කාමීන් සමග වෙඩි හුවමාරු කරගත් අතර එහි දී සටන්කාමීන් විශාල ගණනක් මරා දමා තිබේ. ඉතිරි පිරිස පසුබැස ගොස් ඇත.

Image copyright Anbar University

මෙම සටන්කාමින් අයිඑස් අයිඑස් නමින් හැඳින්වෙන ඉස්ලාමීය ඉරාක රාජ්‍යයක් සඳහා වූ කණ්ඩායමේ සාමාජිකයන් බවයි විශ්වාස කරන්නේ.

ගත වූ දින කිහිපය තුළ ඔවුන් එල්ල කළ තුන් වන ප්‍රහාරය මෙයයි.

පසුගිය සිකුරාදා මෞසුල් නගරයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සටන්කාමිහු පසුගිය බ්‍රහස්පතින්දා සමරා නගරයට ද දරුණු ප්‍රහාරයක් එල්ල කළහ.

රමාඩි නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීම සඳහා ඉරාක ආරක්ෂක හමුදා පසුගිය මාස කිහිපය තුළ උත්සාහ දරමින් සිටිති.