කරච්චි ප්‍රහාරයේ වගකීම තාලිබාන් භාර ගනියි

Image copyright AP
Image caption අත්බෝම්බ හා ස්වයංක්‍රිය ගිනි අවි යොදා ගනිමින් ගුවන් තොටුපළ ප්‍රහාරය දියත් කර තිබේ

පාකිස්තානයේ කරච්චි නුවර ජින්නා අන්තර්ජාතික ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම පාකිස්තාන තාලිබාන් සංවිධානය භාර ගෙන තිබේ.

ප්‍රහාරයෙන් මිය ගිය විසි අට දෙනා අතරට තාලිබාන් සාමාජිකයන් දස දෙනෙකුද ඇතුළත්.

තොටුපළට ඇතුල් වූ බර අවි රැගත් තුවක්කු කරුවෝ අත්බෝම්බ එල්ල කරමින් ස්වයංක්‍රිය ගිනි අවි යොදා ගනිමින් ගුවන් තොටුපළට ප්‍රහාරය දියත් කළහ.

ගුවන් තොටුපළ ප්‍රහාරයට ලක් වන මොහොතේ එහි සිටි මුහම්මද් මජීද් සිය අත්දැකීම විස්තර කරමින්: "මම ෆයිස්ලාබාදයට යන්න පිටවීමේ පර්යන්තයේ රැඳිලා සිටියේ. රෑ දහයට විතර පර්යන්තය ඇතුලේ වෙඩි ශබ්දයක් ඇසුණා. ඒ එක්කම ගොඩනැගිල්ල ඇතුලේ මිනිස්සු කෑ ගසනවා ඇහුණා," යනුවෙන් පැවසීය.

"මොකද ගෘහස්ථ පර්යන්තය භාණ්ඩ ගබඩා ප්‍රදේශයට කිට්ටුයි. ගබඩාව පැත්තෙන් තමයි කට හඬවල් ඇහුණේ. අපි ස්ථිරව මොකක්ද වෙන්නේ කියන එක හිතා ගන්න බැරුව හිටියේ. ටික වෙලාවකින් විශාල පිපිරීම් දෙකක් ඇහුණා."

ගුවන්යානා වලට හානි

පිපිරීම් ශබ්දයත් සමග ගුවන් තොටුපල ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි බව පවසන මුහම්මද් මජීද්, ගබඩා පර්යන්තය දුමෙන් වැසී තිබෙනු සහ ඒ ආසන්නයේ තිබූ ගුවන් යානාවකින් ද දුම් පිටවෙනු දැක තිබේ.

Image copyright AFP

ඒ සමග ගුවන් තොටුපළ තුලට ආරක්ෂක භටයන් ඇතුල් වී ඇති අතර ගුවන් මගීන් පිටතට ගෙන ප්‍රහාර එල්ල වන දෙසට නොයන මෙන් ඔවුන්ට කියා සිටි බවයි මුහම්මද් මජීද් පවසන්නේ.

"මම එතන හිටියා මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න . අපිට වෙඩි ශබ්ද ගොඩක් ඇසුණා. පිපිරීම්, කෑ ගැසීම්, කතා කරන හඬවල්. ඊට පස්සේ හමුදාවෙන් ඇවිල්ල තත්වය පාලනය කළා. හමුදාව අපිව එතැනින් ඉවත් කරලා ගුවන් තොටුපළ ආසන්නයේ තියන හෝටල් වලට ගෙන ගියා.," යනුවෙන් ඔහු පැවසීය.

ප්‍රහාරය සඳහා පැමිණ මිය ගිය තාලිබාන් සාමාජිකයන් උස්බෙකිස්තානුවන් හෝ චෙච්නියානුවන් බව ගුවන් තොටුපළ පිහිටි ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් තමාට කියා සිටි බව බීබීසී කරච්චි වාර්තාකරු හසන් කස්මි පවසා සිටියි.

"ආරක්ෂක අංශ පැමිණ උත්සාහ කළා තවත් සාමාජිකයන් ගුවන් තොටුපළ ගොඩනැගිල්ල තුළ සැඟවිලා ඉන්නවා ද බලන්න. ඊයේ රාත්‍රියේ සිදු වූ මෙහෙයුම් වලින් ත්‍රස්තවාදීන් දස දෙනෙකු මරුණුවට පත් වෙලා තියනවා. උදේ හතරයි තිහට තමයි සම්පුර්ණ මෙහෙයුම අවසාන වුනේ," යනුවෙන්ද කරච්චි වාර්තාකරු හසන් කස්මි ප්‍රහාරයෙන් අනතුරුව පැවති තත්වය විස්තර කරමින් වැඩි දුරටත් පැවසුවේය.

ක්‍ෂේම භූමියක්

කලාපය තුල පාකිස්තානු තාලිබාන් සංවිධානයට සහය ලබා දෙන වෙනත් ජාතිකයන් ද සිටින බවයි බීබීසී උර්දු සේවයේ ප්‍රධානී ආමර් අහමද් පවසන්නේ.

"අපි දන්නවා පකිස්තානු තාලිබාන් සංවිධානය සතුව විවිධ ජාතීන් ගොඩක් ඉන්නවා. ඊට සහය ලබා දෙන කලාප අතරට අරාබියත් මධ්‍යම ආසියාවත් ඇතුලත්. ඔවුන්ගේ රටවල් වලට අවශ්‍ය නැති, නමුත් කලාපයට උපද්‍රව කරන කැරලිකරුවන් ඉන්නවා. ඔවුන් තමයි මේ කලාපය තුල සිදු වන සියලු ගැටුම් වලට සම්බන්ධ වෙලා ඉන්නේ. පාකිස්තානයේ ගෝත්‍රික කණ්ඩායම් වැඩි වශයෙන් ජීවත් වන කලාප මේ කැරලිකරුවන්ට ක්‍ෂේම භූමියක් වෙලා තියනවා," බවයි ඔහු පවසන්නේ.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන තාලිබාන් සංවිධානය චෝදනා කර සිටින්නේ ළමුන් ඇතුළු සිය ගණනක් කාන්තාවන් මරණයට පත් කළ පාකිස්තානු ගුවන් ප්‍රහාර වලට පලිගැනීමක් වශයෙන් මේ ප්‍රහාරය එල්ල කළ බවයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත් තීරු ලේඛිකාවක් වශයෙන් කටයුතු කරන බීනා ශා කරච්චි ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් දක්වන ලද අදහසයි මේ: "අපි දැන් ඉන්නේ යුද්ධයක. අපට එයින් සැඟවී සිටින්න කිසි සේත් බැහැ."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර