‘හැරී පොටර්’ කතුවරිය ස්කොට්ලන්ත නිදහසට විරුද්ධයි

Image copyright AFP
Image caption 'හැරී පොටර්' කතුවරිය ජේ.කේ රෝලින්ග්

ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන්ව නිදහස් රටක් බවට පත් වීමේ ව්‍යාපාරයට ‘හැරී පොටර්’ ගත්කතුවරිය ජේ.කේ.රෝලින්ග් සිය විරෝධය පළ කරයි.

ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය පාලනයේ කොටසක් වශයෙන් දිගටම පැවතිය යුතු බව කියා සිටින ව්‍යාපාරයට ඇය ඩොලර් පහළොස් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් කර තිබේ.

ස්කොට්ලන්තයේ 'එඩින්බ්‍රා' අගනුවර වෙසෙන ජේ.කේ.රෝලින්ග් ඉංග්‍රීසි ජාතික කාන්තාවකි.

ස්කොට්ලන්ත නිදහස ගැන ජේ.කේ.රෝලින්ග් දක්වන්නේ සැක සහිත ආකල්පයක් වන අතර බ්‍රිතාන්‍යය සමඟ එක් ව සිටීම යහපත් බව පවසමිනුයි ඇය විශාල මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙන්නේ.

නිදහස් වීමෙන් ප්‍රයෝජනයක් ඇතැයි නිගමනයකට පැමිණීමට හැකි වුවත් එහි බරපතළ අවදානමක් ඇති බව ඇගේ වෙබ් අඩවියේ සඳහන් වේ.

මේ අතර සුප්‍රකට සිනමා නළුවකු වන ස්කොට් ජාතික ෂෝන් කොන්රි සහ ගත් කතුවරයකු වන අර්වින් වෙල්ෂ් ස්කොට්ලන්ත නිදහස දිනා ගැනීමේ ව්‍යාපාරයට සහය දක්වන බව වාර්තා වේ.