ඉරාක අගමැති සෙන්පතියන් අමතයි

ඉරාක අගමැති නුරි අල් මලිකි බෑග්ඩෑඩ් අගනුවරට උතුරින් පිහිටි සමාරා නගරයේ දී ඔහුගේ සෙන්පතියන් ඇමතුවේය.

උතුරු සහ බටහිර ඉරාකයේ විශාල කොටසක බලය අල්ලාගෙන සිටින ඉස්ලාමීය කැරලිකරුවන් සහ ඉරාක හමුදා අතර යුද පෙරමුණ බවට පත් ව ඇත්තේ සමාරා නගරයයි.

කැරලිකරුවන්ට එරෙහි සටන දියත් කරන බිම සමාරා නගරය බවයි ඉරාක අගමැති නුරි අල් මලිකි කියා සිටියේ.

Image copyright

ඉරාක අගමැති නුර් අල් මලිකිගේ සහ ෂියා ඉස්ලාම් නිකායේ ප්‍රධාන පූජකතුමාගේ ඉල්ලීම අනුව සංවිධානය වූ සන්නද්ධ කණ්ඩායම් ද රජයේ හමුදා සමග එක් ව ආරක්ෂක කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ඉරාකයට ආධාර ලබා දීමට ඇමෙරිකාව සුදානම් නමුත් රට එක්සත් කිරීමේ හැකියාවක් තමන් සතු බව ඉරාක නායකත්වය විසින් ඔප්පු කළ යුතු යැයි ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේය.

රජයේ හමුදාවේ බහුතරය ෂියා නිකායවාදීන් වීමත් ඔවුන්ගේ ප්‍රතිවාදී සටන්කාමීන් සුන්නි නිකායවාදීන් වීමත් නිසා ඉරාකය එක්සත් කිරීම පහසු කටයුත්තක් නොවන බවයි බීබීසී වාර්තාකරුවෙක් සඳහන් කළේ.

මේ අතර ප්‍රකාශයක් කරන ඉරාන ජනාධිපති හසන් රුහානි කියා සිටියේ ඉරාක කැරළිකරුවන්ට එරෙහිව ඇමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට සුදානම් බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර