බැග්ඩෑඩයේ පිපිරීමකින් නව දෙනෙක් මරුට

Image copyright Reuters
Image caption සුන්නි කැරලිකරුවන් මැඩපැවැත්වීමට ශියා සටන්කාමීන්ගේ සහය

බැග්ඩෑඩයට උතුරු දෙසින් ක්‍රියාත්මක වන සුන්නි කැරලිකරුවන් මැඩපැවැත්වීමට ශියා සටන්කාමීන්ගේ සහය ඇතිව සටන් මෙහෙයවන ඉරාක හමුදාවලට හැකි වී තිබේ.

මෙහෙයුම්වලින් අනතුරුව කැරලිකරුවන් නතු කර ගෙන සිටි නගර කිහිපයක් නැවතත් ඉරාක ආණ්ඩුව භාරයට ගැනීමට හැකි වූ බවයි පැවසෙන්නේ.

නමුත් ටික්රීට් හා මොසුල් යන ප්‍රධාන නගරයන්හි පාලනය තවමත් පවතින්නේ කැරලිකරුවන් අතයි.

බැග්ඩෑඩ් අගනුවර මධ්‍යම ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් නව දෙනෙක් මිය ගොස් තවත් විසි දෙනෙකුට පමණ තුවාල සිදු වී තිබේ.

බැග්ඩෑඩ් අගනුවර ඊසාන දෙසට වන්නට ඉරාක හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කුර්දි සටන්කරුවන් හත් දෙනෙකු මිය ගොස් තිබෙන අතර සුන්නි කැරලිකරුවන් රැඳී සිටි ස්ථානයක් යයි සිතා අත් වැරදීමකින් එම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි ඉරාක බලධාරීන් පවසන්නේ.

පාප්වහන්සේ

මේ අතර ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති දේව මෙහෙයට සහභාගී වූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉරාකයේ ජනතාව වෙනුවෙන් දෙවියන් අයැද සිටීමට පැමිණ සිටි බැතිමතුන්ට ආරාධනා කර සිටි බවයි පැවසෙන්නේ.

ඉරාකය තුළ ඉහළ යන ප්‍රචණ්ඩත්වය හමුවේ විපතට පත් පිරිස් හා කිතුනු භක්තිකයන් ඇතුළු ගම් බිම් අතහැර ගිය සියලු දෙනා වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂ දේව මෙහෙයක් ද පවත්වා ඇත.

සුන්නි කණ්ඩායම් විසින් ඉරාක හමුදා භටයන් මරණයට පත් කරන දර්ශන සහිත ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමට ඉරාකයේ උතුරු ප්‍රදේශය පුරා බලය අල්ලා ගෙන සිටින සුන්නි අන්තවාදී පිරිස් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් අන්තර්ජාලයට එක කළ ඡායාරූප වල සත්‍ය අසත්‍යතාව මේ වනතුරුත් තහවුරු වී නොමැති බවයි ඒ පිළිබඳ අදහස් දක්වමින් ඉරාක හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඉරාක නායකයන් අතර පවතින සියලු භේද පසෙකින් තැබීමට ඔවුන් සමත් වූවොත් පමණක්, ඉස්ලාමීය ආක්‍රමණ නැවැත්වීමට සඳහා ඇමරිකානු සහය හිමි වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර