ඉරාකයේ කොටු වූ ඉන්දියානු සාත්තු සේවිකාවෝ

Image copyright Reuters
Image caption මහා මාර්ග සුදුසු තත්වයක නැති බවයි ඉරාක රජය පවසා ඇත්තේ

ඉරාකයේ ඇතිවී ඇති හදිසි තත්වය හමුවේ ඉරාක වැසියන් පමණක් නොව ඉරාකය තුළ විවිධ රැකියාවන්හි නියුතු සිය දහස් ගණනක් විදේශික ශ්‍රමිකයන් විවිධ අන්දමේ අවදානම් තත්වයන්ට මුහුණ දී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අතර ඉන්දියානු ජාතික රෝහල් සාත්තු සේවිකාවන් පිරිසක් රෝහල් වාට්ටුවකට කොටු වී සිටින අතර ඔවුන් මුදවා ගැනීම පිණිස ඉන්දීය රජය හා ඉරාක බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

රතු කුරුසයෙන් සහය

ඉන්දියානු රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ නියෝජිත පිරිසක් ඉරාකයේ ටික්රිට් හි රෝහලක මෙසේ කොටුවී සිටින ඉන්දියානු සාත්තු සේවිකාවන් 46 දෙනා මුණගැසී සුවදුක් විමසා ඇත.

ඉන්දීය රජයට අවශ්‍ය වන්නේ රෝහල තුල සිරවී සිටින සාත්තු සේවිකාවන් ආරක්ෂා සහිතව ඉවත්කර ගැනීමයි.

එහෙත් තවමත් මහා මාර්ග ඒ සඳහා සුදුසු තත්වයක නැති බවයි ඉරාක රජය පවසා ඇත්තේ.

මෙසේ සිරවී සිටින ඉන්දියානු සෞඛ්‍ය සේවිකාවන් අතුරින් අයෙක් වූ මරීනා ඉරිදා බී බී සී හින්දි සේවයට ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන්ගේ මුලික අවශ්‍යතාවන් වත් නිසි ලෙස සපයා නැති බවයි.

“අපිට දීල තියෙන්නෙ කෑම පිඟානක් විතරයි, අඩු තරමින් බොන්න තේ ටිකක් හරි කිරි ටිකක් වත් නැහැ. අපි මේ වැටිලා ඉන්නෙ ඒ නිසයි. අපි සේරම ඉන්නෙ එක වාට්ටුවක් ඇතුලෙ. ආයුධ ගත්තු අය එහා මෙහා යන නිසා අපිට මේ රෝහල් ගොඩනැගිල්ලෙන් එලියට යන්න බැහැ” යනුවෙන් ඇය පැවසුවාය.

'ඉරාකය හැර එන්න'- ඉන්දීය රජය

ඉන්දියානු තානාපති කාර්යාලයෙන් නිලධාරීන් පිරිසක් කතා කළ බවත් රතුකුරුස සංවිධානයේ පිරිසක් පැමිණ ඔවුන්ව නිදහස් කර ගැනීමට කටයුතු කරන බව පැවසුවත් මේ දක්වා කිසිවක් සිදුවී නැති බවත් ඇය පැවසුවාය.

ඉරිදා ඉන්දීය රජය ඉරාකයේ පදිංචි වී සිටින ඉන්දියානුවන් ගෙන් ඉල්ලා සිටියේ හැකිනම් ඉරාකය හැර යාම ගැන සලකා බලන ලෙසටයි.

එසේම ඉරාකයට යෑමෙන් වලකින ලෙසටත් සංචාරකයන්හට දැනුම් දී තිබේ.

ඉරාක විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරාකයේ සිටින ඉන්දියානුවන් වෙනුවෙන් කල හැකි සියළු දේ කරන බවයි.

බැග්ඩෑඩ් හි ඇති ඉන්දීය තානාපති කාර්යාලය දැනටමත් විසි හතර පැයේ තොරතුරු සේවාවක් ආරම්භ කර ඇත්තේ ඉරාකයේ සිටින අය පිලිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම පහසු කිරීමටයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර