රුසියානු හමුදා සීරුවෙන්

Image copyright AFP

ප්‍රහාරයක් සඳහා මධ්‍යම රුසියාවේ හමුදා පූර්ණ සීරුවෙන් තබන මෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් නියෝග කරන ලදැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියි.

එහෙත් එම නියෝගය යුක්රේන් දේශ සීමාව ආසන්නයේ හමුදාවන්ට බල නොපැවැත්වෙන බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

යුද සූදානම පිරික්සුමක් වශයෙන් ජනාධිපති ව්ලදිමීර් පූතින් පසුගිය මාස කීපය ඇතුළත කීප වතාවක් ම එවැනි නියෝග නිකුත් කර ඇත.

මෙවර එම නියෝගය නිකුත් කෙරුණේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව තවත් සම්බාධක පනවන බවට අනතුරු අඟවනු ලැබීමෙන් දවසකට පසුවයි.

නැගෙනහිර යුක්රේනයේ ගැටුම්කාරී තත්වය සමනය කිරීමට පියවර නොගත්තොත් තවත් සම්බාධක පනවන බවයි ඇමෙරිකානු අනතුරු ඇඟවීමෙන් ප්‍රකාශ කෙරුණේ.

අසාර්ථක සටන් විරාමය

Image copyright Reuters

මේ අතර නිවේදනයක් නිකුත් කරන යුක්රේන් බලධාරීන් තම ආණ්ඩුව ඊයේ සිකුරාදා ඒකපාර්ශ්වීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුවත් නැගෙනහිර යුක්රේනයේ කැරලිකරුවන් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි කියා සිටින්නේ.

මෝටාර් ප්‍රහාර මගින් දේශසීමා ආරක්ෂක භටයන් කීප දෙනකු තුවාල ලැබ සිටින බවත් යුක්රේන් ආණ්ඩුව පවසයි.

දින හතක ඒකපාර්ශ්වීය සටන් විරාමය ප්‍රකාශයට පත් කරන ලද්දේ යුක්රේන් ජනාධිපති පෙත්රෝ පොරෂේන්කෝ විසිනි.

නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවත් කැරලිකරුවන් අවි ආයුධ බිම තැබීමක් වෙත යොමුකර ගැනීම සඳහා යුක්රේනයේ නව ජනාධිපති පෙත්රෝ පොරෂේන්කෝ කරුණු දාහතරකින් සමන්විත සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර