සංක්‍රමණික බෝට්ටුවේ මළසිරුරු තිහක්

Image copyright AFP

හයසීයකට ආසන්න සංක්‍රමණිකයන් පිරිසක් ද රැගෙන උතුරු අප්‍රිකාවේ සිට ඉතාලියේ සිසිලි දූපත කරා යාත්‍රා කරමින් තිබුණ ධීවර බෝට්ටුවකින් මළ සිරුරු තිහක් පමණ සොයා ගන්නා ලද බව වාර්තාවෙයි.

ඉතාලි නාවික හමුදාව පවසන්නේ, බෝට්ටුවේ සිටි දුකට පත් ජනතාව ඉවත් කර ගැනීම සඳහා ඊට ඇතුල් වූ අවස්ථාවේ එම මළසිරුරු හමු වූ බවයි.

මුහුදු මගීන් ශාරීරික සහ මානසික වශයෙන් දැඩි පීඩාකාරී තත්වයක පසු වූ බව පවසන ඉතාලි නාවික හමුදාව ඔවුන් අතර ගර්භණී කාන්තාවන් දෙදෙනකුත් ඔවුන් අතර සිටි බව පවසයි.

මුහුදු මගීන්ගෙන් ඇතැමෙක් මිය යාමට හේතුව හුස්ම හිරවීම බවත් නාවික හමුදාව කියා සිටී.

බෝට්ටුවේ පටු ඉඩකඩක එකට දමා තිබියදී මළසිරුරු සොයා ගත් බවයි නාවික නිලධාරීන් වැඩි දුරටත් පවසන්නේ.

අනතුරුව බෝට්ටුව සිසිලි දූපත කරා ඇද ගෙන ආ බවත් වාර්තා කොට ඇත.

මේ වසර ඇතුළත මේ වන විට හැට දහසකට අධික සංක්‍රමිකයන් දකුණු ඉතාලියට පැමිණ ඇතැයි ඉතාලි බලධාරීහු පවසති.

2011 වසරේ හැටතුන් දහසක් සංක්‍රමණිකයන් ඉතාලියට ඇතුල් වී ඇති අතර මේ වසරේ එම වාර්තාව ද ඉක්මවන හැඩක් පවතින බවයි ඉතාලි බලධාරීන් පවසන්නේ.

මේ සතියේ පමණක් දහසකට අධික සංක්‍රමණිකයන් පටවා ගත බෝට්ටු හතක් අල්ලා ගත් බවත් ඔවුහු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර