ඉරාකයේ ඉන්දියානු හෙදියන්ට නිදහස

Image copyright Getty
Image caption ඉරාකයේ සිරවූ ඉන්දියානු සාත්තු සේවිකාවන්

ජිහාඩ් ප්‍රහාරකයන් යයි සැක කෙරෙන කණ්ඩායමක් විසින් උතුරු ඉරාකයේදී පැහැර ගනු ලැබුන ඉන්දීය හෙදියන් හතළිස් හයදෙනා මුදා හැර ඇති බව ඉන්දියානු වාර්තා පවසයි.

'දූර දර්ශන්' ඉන්දියානු ජාතික රුපවාහිනිය පවසන්නේ, ‘ඉර්බිල් ’ නම් කුර්දි නගරයේදී එම හෙදියන් ඉන්දියානු බලධාරීන්ට භාර දී ඇති බවයි.

හෙදියන් කණ්ඩායම හෙට සෙනසුරාදා ඉන්දියාව බලා පිටත්ව යාමට බලාපොරොත්තු වෙන බවත් පැවසෙයි.

ISIS සුන්නි හමුදා ‘තික්රිත්' නගරයට පහර දුන් අවස්ථාවේ ඉහත කී හෙදියන් එහි රෝහලක සේවය කරමින් සිටි අතරයි පැහැර ගැනීමට ලක් වුණේ.

හෙදියන් මුදා හරිනු ලැබීම සම්බන්ධයෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර හෙදියන් නිදහස් කර ගැනීම සඳහා පැහැර ගැනීම් සිදු කළ කණ්ඩායම් වලට යම්කිසි ගෙවීමක් සිදු කළේද යන්න හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

නිදහස් කරගත් හෙදියන් ඉන්දියාවට ගෙන්වා ගැනීමට ඉන්දියානු රජය විසින් විශේෂ ගුවන්යානයක් පිටත් කර හරින බවයි පැවසෙන්නේ.

ISIS සුන්නි ප්‍රහාරකයන් විසින් රඳවා ගනු ලැබ සිටි තුර්කි ජාතික කම්කරුවන් තිස් දෙදෙනෙක් මුදා හරිනු ලැබීමෙන් දවසකට පසුවයි, ඉන්දීය හෙදියන් නිදහස් කෙරුණේ.

මෙයින් සති දෙකකට පෙර පැහැර ගනු ලැබුණ ඉන්දීය ඉදිකිරීම් කම්කරුවන් හතළිහක් ද 'මොසුල්' නගරය අසළ රඳවා තබා ඇති බවක් ද වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර