අගමැති මෝදි සහනාධාර කප්පාදුවකට සැරසෙයි

Image copyright AFP

ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අනතුරු අඟවන වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත.

රටේ මූල්‍ය හිඟය පියවා ගැනීමට සහ උද්ධමනය අඩු කර ගැනීම පිණිස දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කරමිනුයි එම අනතුරු ඇඟවීම සිදු කරනු ලැබ තිබෙන්නේ.

ආහාර සඳහා කරන වියදම් මෙන්ම ඉන්ධන සහ පොහොර සහනාධාර කපා හැරිය යුතු බවටත් ඉන්දීය මුදල් අමාත්‍යාංශය යෝජනා කරයි.

අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුක්ත ඉන්දීය නව ආණ්ඩුවේ පළමු අය වැය හෙට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.

මෙම මූල්‍ය වර්ෂය තුළ ඉන්දීය ආර්ථිකය 5.4% සිට 5.9 % ක් දක්වා වර්ධනය විය හැකි බවට ඉන්දීය වාර්ෂික ආර්ථික සමීක්ෂණය අනාවැකි පළ කරනු ලැබ ඇතත්, ඉන්දීය ආණ්ඩුවේ මූල්‍ය තත්වය බාහිර වශයෙන් දක්නට ලැබෙන තත්වයට වඩා නරක තත්වයක පවතින බවට ද අනතුරු ඇඟවීම සිදු කෙරෙයි.

වෙනත් විසඳුම්

එහෙත් මූල්‍ය හිඟය පියවා ගැනීමට ආණ්ඩුවට වෙනත් ක්‍රියාමාර්ග පවතින බව දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකාරිය ශිල්පා කන්නන් ප්‍රකාශ කළාය.

කලින් කී ක්‍රියා මාර්ගවලට අතිරේකව දැනටමත් අය විය යුතුව තියෙන බදු අය කර ගැනීමට කටයුතු කළ හැකි බවයි බීබීසී වාර්තා කාරිය පවසන්නේ.

“බදු නොගෙවීම ඉන්දියාවේ ඉතාම බරපතළ ප්‍රශ්නයක් බවත් ඉන්දියාවේ ආදායම් බදු වෙන්නේ සියයට තුනක පමණ ප්‍රතිශතයක් බවත් බීබීසී වාර්තා කාරිය පවසයි.

රාජ්‍යයට අයත් තෙල් සහ ලෝහ සමාගම්වල කොටස් විකිණීම තවත් කෙටි කාලීන විසඳුමක් වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නායකත්වය දෙනු ලබන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මෙවර බලයට පත් වුණේ ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවට ප්‍රතිඥා දෙමිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර