රුසියාවට එරෙහි ප්‍රචාරක යුද්ධයක්?

Image copyright Reuters
Image caption ගුවන් මගියකුගේ මළ සිරුර ඉවත් කර ගනිමින්.

MH 17 ගුවන් යානය බිම හෙලන ලද නැගෙනහිර යුක්රේනයේ සුන්බුන් සහිත කලාපයට විශේෂ රැකවරණ නො සැලසීම හේතුවෙන් එහි විකෘති කිරීම් සිදු කිරීමට පවතින ඉඩකඩ සම්බන්ධයෙන් මැලේසියානු ආණ්ඩුව කනස්සල්ල පල කරයි.

ජාත්‍යන්තර නිරීක්ෂක කණ්ඩායම් වලට ගුවන් යානයේ සුන්බුන් ඇති තැනට යාමට සුරක්ෂිත බිම් කඩක් විවෘත කරන ලෙසත් මැලේසියාවේ ප්‍රවාහන ඇමැතිවරයා ඉල්ලා ඇත.

සිය රටට අයත් යානය තහනම් ගුවන් කලාපයකට ඇතුල් නොවූ බව පවසන ඇමතිවරයා, සිය ගණනක් වෙනත් යානා විසින් ද භාවිතා කරනු ලබන ප්‍රධාන ගුවන් තීරයක එය පියාසර කරමින් තිබුණ බවයි කියා සිටින්නේ.

MH 17 ගුවන් යානය බිම හෙලන ලද පුද්ගලයන් අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බවයි මැලේසියාවේ ප්‍රවාහන ඇමැතිවරයා කියා සිටින්නේ.

මොස්කව් ප්‍රතිචාරය

මේ අතර මොස්කව් බලධාරීන් ප්‍රකාශයක් කරමින් රුසියාවට එරෙහිව ප්‍රචාරක යුද්ධයක් ආරම්භ කර ඇති බවට බටහිර රටවලට චෝදනා කර ඇත.

යුක්රේන් බෙදුම්වාදීන්ට දෝෂාරෝපණය කිරීම නොව ‘කීව්’ බලධාරීන් විසින් සිදු කරනු ලැබිය යුත්තේ ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වී ඇති ආකාරය ගැන පැහැදිලි කිරීමක් සිදු කිරීම යයි මොස්කව් ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියි.

Image copyright AFP
Image caption යානයේ සුන්බුන් අතර ගම්වැසියන්.

මේ අතර රුසියාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, යුක්රේන් අර්බුදය මුල් කර ගනිමින් එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති අලුත් සම්බාධක වලට ප්‍රතිචාරයක් වශයෙන් ඇමෙරිකානු පුරවැසියන් කීප දෙනකුට එරෙහිව සංචාරක තහංචි පැන වූ බවයි.

මළසිරුරු

MH 17 මැලේසියානු ගුවන් අනතුරින් මරණයට පත් මගීන් කීප දෙනකුගේ සිරුරු යානයේ සුන්බුන් පතිත කලාපයෙන් ඉවත් කර ගත බව නිවේදනය කෙරුණි.

බීබීසී වාර්තා කරුවෙක් පවසන්නේ, නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවත් කැරලිකරුවන්ගේ පාලනය සහිත කලාපයේ තිබුණ මළ සිරුරු අනන්‍යතාවය හෙළි කිරීම ප්‍රතික්ෂේප කල බේරා ගැනීමේ කණ්ඩායමක් විසින් ඉවත ගෙන ගිය බවයි.

යානය බිම හෙළන ලද ආකාරය සහ එය සිදු කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න හෙළි කර ගැනීමට අදාළ සාක්ෂි ඇතුළත් කලාපයට කැරලිකරුවන් පිවිස ඇති බවට යුක්රේන් ආණ්ඩුව කරන චෝදනා රුසියාවට හිතවත් කැරලි නායකයකු වන අලෙක්සන්දර් බරදයි (Aleksander Borodai) විසින් බැහැර කරනු ලැබ ඇත.

එම භූමියට පිවිසීමට යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වන සංවිධානයේ නිරීක්ෂකයන් ගත් උත්සාහයට කැරලිකරුවන් බාධා කළ බවක් ද වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර