ඉන්දියාවේ දුම්රිය අනතුරකින් පාසල් ළමුන් දහතුනක් මරුට

Image copyright AP
Image caption අනතුර සිදුවූ ස්ථානයට පැමිණි මියගිය දරුවන්ගේ දෙමාපියන්

දකුණු ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ දහතුන් දෙනකුට ආසන්න පාසල් ළමුන් දුම්රිය අනතුරකින් මරණයට පත් වූ බවක් වාර්තා වෙයි.

පාසල් බස් රථයක් මාර්ග සඥා නොමැති දුම්රිය මාර්ගයක් හරහා ධාවනය කිරීමේ දී දුම්රියක ගැටීමෙනි අනතුර සිදුවී ඇත්තේ.

පොලිසිය පවසන්නේ හයිද්‍රාබාද් නගරයට කිලෝමීටර සියයක් පමණ දුරකින් දුම්රිය හරස් පාරකදී මෙම අනතුර සිදු වී ඇති බවයි.

බස් රථය පැදවූ රියදුරා ද අනතුරින් මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙන් නියෝග කර ඇත.

බස් රථයේ ගමන් ගත් තවත් ළමුන් දහ නමයකට පමණ තුවාල සිදුවී ඇති නමුත් දුම්රිය මගීන්ට හානි සිදු වී නැති බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය මස ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෙවැනිම අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් දස දෙනෙකුට පමණ තුවාල සිදු වූ අතර මැයි මස උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ද පුද්ගලයන් විසි දෙනෙකු මිය ගොස් තිබේ.

වාර්තා වලට අනුව ඉන්දියාවේ මාර්ග සඥා නොමැති පහළොස් දහසක් පමණ වූ දුම්රිය හරස් පාරවල් වල සිදුවන අනතුරු හේතුවෙන් වසරකට සියයකට අධික පිරිසක් මරණයට පත් වෙති.

ඉන්දියාවේ මගී දුම්රිය නම දහසක් පමණ ධාවනයේ යෙදෙන අතර දිනකට මගීන් තුන් කෝටි තිස් ලක්ෂයක් දුම්රිය සේවය තම ගමනාගමනයට යොදා ගන්නා නමුත් දුම්රිය සේවයේ ආරක්ෂා සහගත බව ඉතා පහළ මට්ටමකයි පවතින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර