ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ඊශ්‍රායලය සටන් විරාමයකට සුදානම් නෑ'-නෙතන්යාහු

පලස්තීන කැරලිකරුවන් විසින් ගාසා තීරයේ සිට රහසින් ඊශ්‍රායලයට ඇතුල්වීම සඳහා ගොඩ නගන ලද උමං මාර්ග වලට ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ සටන් විරාමයක සිටියදී හෝ සටන් විරාමයකින් තොරව මෙම උමං මාර්ග විනාශ කිරීමට ඊශ්‍රායලය පියවර ගන්නා බවයි.

තමන්ගේ අරමුණ ඉටු වන තුරු කිසිදු සටන් විරාම ගිවිසුමක් පිළි ගැනීමට සුදානම් නැති බව පවසන ඊශ්‍රායල අගමැතිවරයා කියා සිටියේ තව දින කිහිපයක් ඇතුලත එම අරමුණට ලඟා වීමට හැකි බව ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවේ ප්‍රධානියා තමන්ට දැනුම් දුන් බවයි.

මෙවන් එක් උමං මාර්ගයක් නැරඹීමට ඊශ්‍රායල හමුදාව විසින් බීබීසී යේ මැදපෙරදිග වාර්තාකාරිණියකට අවසර දී ඇති අතර එහි සිට ඇය විසින් බීබීසී ලෝක සේවයට වාර්තාවක් ඉදිරිපත් කොට තිබේ.

ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් සහ ෂෙල් ප්‍රහාර මෙන්ම හමාස් කණ්ඩායම් විසින් ඊශ්‍රායලයට එල්ල කරන රොකට් ප්‍රහාරද තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

බලවත් ජාත්‍යන්තර අප්‍රසාදය මැද ඊශ්‍රායල් ප්‍රහාර හතරවන සතියට එළඹ ඇති අතර ඉන් මරණයට පත්වන ගණන ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

ගාසා බලධාරීන් පවසන්නේ, එක්දහස් තුන්සීයක් පමණ පලස්තීනුවන් මරණයට පත්ව ඇති අතර ඉන් බොහොමයක් සාමාන්‍ය වැසියන් වන බවයි.

මේ වනවිට ඊශ්‍රායල හමුදා භටයන් පනස් හයක් මරණයට පත්ව ඇති අතර සාමාන්‍ය වැසියන් තුන් දෙනෙකු මිය ගොස් තිබේ.