“මහා බාධක කොරල් පරය” අහිමි වන ලකුණු

Image copyright james
Image caption මෙය ලෝකයේ ඇති විශාලතම ස්වාභාවික කොරල් බැම්ම ලෙස සැලකේ

කාලගුණික හා වෙනත් බලපෑම් හේතු කොට ගෙන ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් මුහුදු තීරයේ ඇති “මහා බාධක කොරල් පරය” අනතුරට ලක්වී ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

මෙය ලෝකයේ ඇති විශාලතම ස්වාභාවික කොරල් බැම්ම ලෙස සැලකේ.

කිලෝමීටර දෙදහස් තුන්සියයකට වඩා දිගට විහිදෙන මෙම කොරල් පරය පසුගිය වසර පහක කාලය තුළ දැඩි ඛාදනයකට ලක්වී ඇති බව පෙන්වා දෙන වාර්තාවකට අනුව එය තවදුරටත් විනාශයට ලක්වීමේ අවදානමක් පවතී.

මුහුදු වතුර අපවිත්‍ර වීම, වෙරළාසන්න සංවර්ධන කටයුතු සහ ධීවර කටයුතු මෙම ක්‍රමික විනාශයට බලපාන අමතර හේතු ලෙස පිළිගෙන තිබේ.

මෙම කොරල් බැම්මට විරුද්ධ දෙසින් ඇති ඊසාන දිග මුහුදු තීරයේ සිදු කිරීමට නියමිත දැවැන්ත සංවර්ධන වැඩසටහනක් අනුමත කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය දෝෂ දර්පණයට ලක් වී තිබේ.