ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'උද්ඝෝෂණයේ යටි අරමුණක් නැහැ - ජමාත් සංවිධානය

තම සංවිධානය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට ඊශ්‍රායලයට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කළේ ගාසා තීරයේ මුස්ලිම් ජනතාවට සහය දැක්වීමට බව ශ්‍රී ලංකා තව්හිජ් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම් අබ්දුල් රසීක් රෆීඩ් ඩීන් සංදේශයට ප්‍රකාශ කළේය.

“ජූලි මාසේ නමවෙනිදා ඉඳල ගාසා තීරය ආක්‍රමණය කරන්න යුදෙව් ජාතිකයන් විසින් ප්‍රහාර එල්ල කරලා පලස්තීන අහිංසක සිවිල් ජනතාව, කුඩා දරුවන් හාරසියයකට වඩා අධිකව, කාන්තාවන් පන්සියයකට හයසියයකට වඩා අධික ව, සිවිල් වැසියන් දෙදහසකටත් වඩා වැඩි පිරිසක් සමුලඝාතනය වෙලා තියනව” යනුවෙන් ඔහු පැවසීය.

එහෙත් අධිකරණ නියෝගයක් හේතුවෙන් උද්ඝෝෂණය පැවැත්වීමට සිදුවූයේ මාලිගාවත්තේ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ තව්හිජ් ජමාත් සංවිධානය කිසියම් යටි අරමුණක් සහිතව මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බවයි බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළේ.

ඒ සමගම ඥානසාර හිමියන්ගේ චෝදනාව වුයේ ශ්‍රී ලංකා තව්හිජ් ජමාත් සංවිධානය බුදුන් වහන්සේට නිගා දෙන අයුරින් සී ඩී තැටියක් නිකුත්කිරීම වැනි කටයුතු මගින් ශ්‍රී ලංකික බෞද්ධයන්ගේ සිත් රිදවා ඇති බවයි.

“ මීට අවුරුද්දකට එහා පැත්තේදී සම්පුර්ණයෙන් ම බෞද්ධයෝ අපහසුතාවයට පත් වෙන විදියට සී දී පටියක් එලියට දාල බුදු හාමුදුරුවෝ මිනී මස් කනවය, ත්‍රිවිධරත්නය කියන්නෙ මැණික් ගල් තුනක් ය, බුදු හාමුදුරුවන්ගේ සර්වඥතා ඥානය ගැන ප්‍රශ්ණයක් තියනවය යනාදී වශයෙන් අපහාස කරපු පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබා නොදී රිසිසේ වැඩකරන්න ඉඩදීලා තියනව.” යනුවෙන් උන් වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළහ.

Image caption අධිකරණ නියෝගයක් හේතුවෙන් උද්ඝෝෂණය පැවැත්වීමට සිදුවූයේ මාලිගාවත්තේ දීය

එහෙත් තමන් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ගත් බව සඳහන් කරන ජමාත් සංවිධානයේ ලේකම්වරයා තම සංවිධානය බෞද්ධ සැදැහැවතුන් සමග ඉතා සමීපව කටයුතු කරන බවද පැවසුවේය.

මේ අතර පලස්තීනය ශ්‍රී ලංකාවට ඉහලම ගෞරවයක් ලබා දී ඇති බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා තව්හිජ් ජමාත් සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා ශ්‍රී ලංකා ජනාධිපති වරයා විසින් මේ දක්වා පලස්තීනයට සහය පළ කරමින් ප්‍රකාශයක් නිකුත්කර නැති බව ප්‍රකාශ කළේය.