'පුලන්' දේවි ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Image copyright AFP

පුලන් දේවිය මරා දැමූ බවට වරදකරු වූ ශියර් සිං රානාට දිල්ලි අධිකරණයකදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.

'බැන්ඩිට් ක්වීන්' නමින් ප්‍රකට පුලන් දේවිය 2001 වසරේදී ඇගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළ බවට අධිකරණය විසින් ශියර් සිං රානා ඉකුත් සතියේදී වරදකරු බවට තීන්දු කෙරිණ.

ඉන්දියාවේ ඉතා පහළ කුලයකට අයත් කාන්තාවක වන පුලන් දේවියගේ ජීවිත කතාව 1996 දී ‘බැන්ඩිට් ක්වීන්’ නමින් බොලිවුඩ් චිත්‍රපටයකට නැගූණි.

ඉහළ කුලයේ යැයි පැවසෙන පුද්ගලයන් පිරිසක් අතින් සමූහ දූෂණයට ලක් වූ පුලන් දේවිය ඊට විරුද්ධව නැගී සිටි අතර 1981 වසරේදී තමා දුෂණය කළ විසි දෙදෙනෙක් ඇය විසින් ඝාතනය කරනු ලැබූහ.

1983 දී තමන් කළ ඝාතන වෙනුවෙන් පොලිසියට බාර වුණු ඇය වසර දහයක සිරදඬුවම් ලබා 1994 දී නිදහස් විය.

Image copyright AFP

නිදහස් වී වසර දෙකකින් පසු දේශපාලන දිවියට ඇතුළු වූ ඇය ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස දිවුරුම් දුන්නාය.

පුලන් දේවියගේ ඝාතනය සම්බන්ධයෙන් 2001 දී ශියර් සිං රානා සැක පිට අත්අඩංගුවට ගත් අතර 2004 වසරේදී දිල්ලි නුවර අධි ආරක්‍ෂිත බන්ධනාගාරයෙන් පැන ගිය ඔහු 2006 වසරේදී නැවත අත්අඩංගුවට ගන්නා ලදී.

ශියර් සිං රානාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට අමතරව ඉන්දියානු රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කෙරිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර