'ළමා සරණාගතයන් නිදහස් කරනවා' - ඔස්ට්‍රේලියාව

Image caption ඔස්ට්‍රේලියාවට ගොස් සිට ආපසු එවනු ලැබූ ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක්

දැනට රැඳවුම් භාරයේ පසුවන එකසිය පනහක් පමණ වූ ළමා සරණාගතයන් පිරිසක් නිදහස් කිරීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

ඕස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිලිබඳ අමාත්‍ය ස්කොට් මොරිසන්ස් පවසන්නේ අවුරුදු දහයට වඩා අඩු ළමුන් සිටින සරණාගත පවුල් සඳහා තාවකාලික විසා ලබා දෙන බවයි.

මෙම ප්‍රමාණය නම සියයක් වූ මුළු සරණාගත ළමුන් සංඛ්‍යාවෙන් සුළු කොටසක් පමණි.

මෙම නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ ඕස්ට්‍රේලියානු රජය සරණාගතයන් පිළිබඳව කටයුතු කරන ආකාරය මානව හිමිකම් පිලිබඳ හඬ නගන්නන් ගේ දෝෂ දර්ශනයට ලක්වීම හේතුවෙන්.

එහෙත් ඕස්ට්‍රේලියානු භූමියෙන් පිටත පැපුවා නිව්ගිනි සහ නාවුරු යන දුපත් වල ඇති රැඳවුම් කනදවුරු වල සිටින වයස දහයට වැඩි ළමුන් සිය ගණනකට මේ නව ප්‍රතිපත්තිය යටතේ සහනයක් නොලැබෙන බවයි පැවසෙන්නේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් රැගත් මුහුදු යාත්‍රා සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඔවුන් පිළිබඳව දැඩි තීරණ ගැනීමට පසුගිය වසර කිහිපය තුළ ඔස්ට්‍රලියාව කටයුතු කළේය.

පසුගිය වසරේ අගමැති ටෝනි ඇබට් ගේ සභාග රජය බලයට පැමිණියේ සරණාගතයන් රැගත් මුහුදු යාත්‍රා නවත්වා දමන බවට ප්‍රතිඥාවක් දෙමිනි.

ඒ සඳගා ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිය සාර්ථක වූ අතර පැමිණෙන යාත්‍රා සංඛ්‍යාව විශාල ප්‍රමාණයකින් අඩු විය.

එහෙත් දැනටමත් එසේ පැමිණ කඳවුරු වල රඳවා සිටින දහස් ගණනක් සරණාගතයන් පිලිබඳ තවමත් පැහැදිලි විසඳුමක් ඕස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කර නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර