සංක්‍රමණික සෞඛ්‍යය: ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට නඩු

Image copyright Reuters
Image caption ඇෆ්ඝනිස්තාන, ශ්‍රී ලංකාව, ඉරාක සහ ඉරාන වැසියෝ ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතති

ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවක් නොසපයන බවට චෝදනා කරමින් ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින දේශපාලන රැකවරණ පතන්නන් විසින් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට එරෙහිව නඩු පවරා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩුව පවරා තිබෙන්නේ හය හැවිරිදි සංක්‍රමණික දැරියක ප්‍රධාන පැමිණිලිකරු ලෙසින් දක්වමින්.

දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම මගින් දේශපාලන රැකවරණ පතන්නන්ගේ සෞඛ්‍ය තත්වය අවදානමකට හෙලා ඇති බව පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙක් පැවසීය.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ සංක්‍රමණිකයන් සම්බන්ධ ඕස්ට්‍රේලියාවේ ප්‍රතිපත්තිය දෙස් විදෙස් විවේචනයට ලක්වෙමින් තිබියදී.

දේශපාලන රැකවරණ පතා බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට ලඟාවන්නන් ක්‍රිස්මස් දූපතේ, පැපුවා නිවුගිනියාවේ සහ නාවුරු දූපතේ කඳවුරුවල රඳවා තැබේ.

එම කඳවුරුවල පවතින වාතාවරණය සහ සංක්‍රමණිකයන් දීර්ඝ කාලයක් එහි රඳවා තැබීම එක්සත් ජාතීන් සහ මානව හිමිකම් කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක්විය.

කුඩා දරු දැරියන්ද එම කඳවුරුවල රඳවා තැබෙන අතර, කතෝලික පල්ලිය එය විග්‍රහ කරන්නේ 'රාජ්‍ය අනුග්‍රහය ලබන ළමා අපයෝජනයක්' ලෙසින්.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වශයෙන්ම දේශපාලන රැකවරණ පතන්නේ ඇෆ්ඝනිස්තානය, ශ්‍රී ලංකාව, ඉරාකය සහ ඉරානයේ සිට පැමිණෙන සංක්‍රමණිකයන්.