මියන්මාර ජනසංගණනයට "රෝහින්ග්‍යා" ගැටලුවක්

Image copyright Reuters
Image caption බංග්ලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් “බෙංගාලි” ලෙස හැඳින්විය යුතු බවයි රජය පවසන්නේ

තිස් වසරකට පසු මියන්මාරයේ (බුරුමයේ) පැවැත්වූ ජන සංගණනය ට අනුව එරට ජනගහනය බලාපොරොත්තු වූ ජන සංඛ්‍යාවට වඩා මිලියන නමයක අඩු වීමක් පෙන්නුම් කර ඇත.

මීට ප්‍රථම මියන්මාරයේ ජන සංගණනයක් පැවැත්වුයේ 1983 වසරේ වූ අතර මේ දක්වා රජය අනුමාන කළේ එරට ජනගහනය මිලියන හැටක් වන බවයි.

එසේවූව ද, සිකුරාදා නිකුත් කරන ලද පසුගිය මාර්තු සහ අප්‍රියෙල් යන මාස වලදී පැවැත්වුණු ජන සංගණන ප්‍රතිපල අනුව මියන්මාර ජනගහනය මිලියන පනස් එකකි.

මෙම ගණනය කිරීම විවාදයට තුඩු දී ඇත්තේ බලධාරීන් විසින් ඇතැම් අයට තමන්ගේ ජාතිකත්වය තීරණය කිරීම තහනම් කළ හේතුවෙන්.

රෝහින්ග්‍යා අයිතිය

මේ අතර සංගණනයේ මුලික ප්‍රතිපල නිවේදනය කරමින් රජයේ රූපවාහිනිය ප්‍රකාශ කළේ එරට ජන වර්ග හා ආගම් පිලිබඳ දත්ත ලබන වසරේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

බටහිර රඛින් පළාතේ ඇතැම් ප්‍රදේශ වල හැරෙන්නට අනෙකුත් ප්‍රදේශ වල ජන සංඛ්‍යා ගණනය කිරීම් ඉතා සුමට අකාරයෙන් සිදුවූ බවයි බී බී සී යේ මියන්මාර වාර්තාකරු ජොනාර් ෆිෂර් සඳහන් කළේ.

මේ අතර අනුමාන කළ 800,000 මුස්ලිම් සුළු ජන සංඛ්‍යාවකට තම අනන්‍යතාවය “රෝහින්ග්‍යා” ලෙස සැලකීමේ අයිතිය ප්‍රතික්ෂේප වී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

කැමති ජාතිකත්වයක් තෝරාගන්න බැහැ

මෙම ජන සංගණනයට සහය දැක්වූ එක්සත් ජාතීන් ගේ සංවිධානය ඉල්ලා තිබුණේ බුරුම ජනතාවට ඔවුන් කැමති ජාතිකත්වයක් තෝරා ගැනීමට අවස්ථාව දෙන ලෙසයි.

එහෙත් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

රජය පවසන්නේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව බංග්ලාදේශයේ සිට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් බැවින් ඔවුන් “බෙංගාලි” ලෙස හැඳින්විය යුතු බවයි.

උතුරු කචින් පළාතේ ඇතැම් හුදකලා ප්‍රදේශ සංගණනයේ දී ගණනය නො කරන ලද්දේ එම ප්‍රදේශ වාර්ගික සටන්කාමීන් යටතේ පවතින බැවිනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර