'ඝාතන මගින් ඇමෙරිකාව බියපත් නොවේ'- ඔබාමා

Image copyright EPA

ස්ටීවන් සොට්ලොෆ් (Steven Sotloff ) මාධ්‍යවේදියා මරා දමනු ලැබීම මගින් එක්සත් ජනපදය බිය ගැන්විය නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා කියා සිටියි.

සිය මාධ්‍යවේදියා මරා දමන ලද ම්ලේච්ඡත්වය මගින් ලෝකය ඉස්ලාමීය රාජ්‍ය ප්‍රහාරකයන් පිළිකුල් කරන තත්වයකට පත් වූ බවයි ජනාධිපති ඔබාමා පවසන්නේ.

එස්තෝනියාවේ පැවැත්වුන මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන සටන තවත් දැඩි වූ බවයි.

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වදින කැරලිකරුවන් විසින් තවත් ඇමෙරිකානු මාධ්‍යවේදියකුගේ හිස ගසා මරා දමනු ලබන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටය පිළිගත හැකි එකක් බවත් එක්සත් ජනපදය පවසයි.

මුහුණ ආවරණය කර ගත් පුද්ගලයකු පිහියක් අතින් ගෙන ස්ටීවන් සොට්ලොෆ් (Steven Sotloff ) නම් ඇමෙරිකානු මාධ්‍යවේදියා පිටුපස සිටින දර්ශනයක් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වීඩියෝ පටයෙහි දැක්වෙයි.

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියකුත් අනතුරේ

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් අත ප්‍රාණ ඇපයේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයකු ද මරා දමන බවට තර්ජනයක් එම වීඩියෝ පටයට ඇතුළත් වෙන අතර ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ හදිසි සාකච්ඡාවක් අගමැති ඩේවිඩ් කැමරන්ගේ නායකත්වයෙන් පැවැත්වුන බවත් වාර්තා වෙයි.

ඉහත කී වීඩියෝ පටයේ අදහස් දක්වන ඉස්ලාමීය ප්‍රහාරකයා බ්‍රිතාන්‍ය ඌරුවෙන් ඉංග්‍රීසි බස හසුරුවන අතර ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි ක්‍රියා නතර කරන මෙන් ඔහු කැරලිකරුවන්ට එරෙහි විදේශීය සන්ධානයට අනතුරු ඇඟවීමක් කරයි.

එම ප්‍රහාරකයා මින් පෙර ඝාතනය කෙරුණ ඇමෙරිකානු මාධ්‍යවේදී ජේම්ස් ෆොලිගේ (James Foley) හිස ගසා දැමූ පුද්ගලයාම වන බව පෙනී යන බවයි, බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර