යුක්රේන ගැටුම්: සටන් විරාමයකට එකඟ වෙති

Image copyright n
Image caption සටන් විරාමය සිකුරාදා සන්ධ්‍යාවේ පටන් බල පැවැත්වෙනු ඇති බව විශ්වාස කෙරේ

නැගෙනහිර යුක්රේනයේ රුසියාවට පක්ෂපාත කැරලිකරුවන් සටන් විරාමයකට අත්සන් තබන ලද බව බෙලරුසියාව නිවේදනය කළේය.

එම සටන් විරාමය සිකුරාදා සන්ධ්‍යාවේ පටන් බල පැවැත්වෙනු ඇති බවයි, බෙලරුසියාවේ සිට ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ.

මේ වන විට වේල්සයේ පැවැත්වෙන නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමින් සිටින යුක්රේන් ජනාධිපති පෙත්‍රෝ පොරෂේන්කෝ සටන් විරාමය විග්‍රහ කළේ මූලික එකඟතාවයක් හැටියටයි.

OSCE යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය පිළිබඳ සංවිධානයද සටන් විරාමය තහවුරු කළේය. යුක්රේන් නිලධාරීන් සහ කැරලිකරුවන් අතර බෙලරුසියාවේ පැවැත්වුන සාකච්ඡාවල මුලසුන දරන ලද්දේ එම සංවිධානයයි.

නේටෝ රැස්වීම

රුසියාවේ නියෝජිතයෙක්ද එම සාකච්ඡාවලට සහභාගි විය.

Image copyright
Image caption නැගෙනහිර යුරෝපයේ ආරක්ෂාව නංවාලීමටත් නේටෝ නායකයන්ගේ එකඟතත්වය

සටන් විරාම ගිවිසුම පිළිබඳ සාකච්ඡා පෙරට යමින් තිබියදීත් ගැටුම් පැවතුන බවයි, නැගෙනහිර යුක්රේනයෙන් වාර්තා වෙන්නේ.

මේ අතර රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ නැගී එමින් පවතින ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමේ බලකායක් පිහිටුවීමේ ක්‍රියාමාර්ගයකටද වේල්සයේ රැස් වෙමින් සිටින නේටෝ යුද හවුලේ නායකයෝ එකඟත්වය පළ කළහ.

නේටෝ සංවිධානයේ මහ ලේකම් අන්ද්‍රේස් ෆොග් රස්මුසෙන් ප්‍රකාශ කළේ, කෙටි දැනුම් දීමක් අනුව රැඳවිය හැකි එම නව බලකාය දහස් ගණනක භටයන්ගෙන් සමන්විත වන බවයි.

කලාපයේ අඛණ්ඩව රැඳී සිටීම මගින් නැගෙනහිර යුරෝපයේ ආරක්ෂාව නංවාලීමටත් නේටෝ නායකයන් එකඟ වූ බව මහ ලේකම්වරයා පැවසීය.

යුක්රේනය නේටෝවට හවුල් වීම සම්බන්ධයෙන් රුසියාව කරන අනතුරු ඇඟවීම් ගැන ප්‍රතිචාරය පළ කරන ඔහු, නේටෝ යුද හවුල ව්‍යාප්ත කිරීමට එරෙහිව තුන්වැනි රටකට නිශේධ බලය පාවිච්චි කළ නොහැකි බව සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර