යුක්රේන් සටන් විරාමයේ පැවැත්ම ගැන සැකයක්

සමස්ත වශයෙන් ගත්විට සන්සුන් තත්වයක් පැවතුනත් යුක්රේන් හමුදා සහ රුසියාවට හිතවත් කැරලිකරුවන් සටන් විරාමය උල්ලංඝනය කරන බවට එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටින බවක් වාර්තා වෙයි.

ඊයේ සිකුරාදා පටන් සටන් විරාමය බල පැවැත්වීමෙන් අනතුරුව කැරලිකරුවන් විසින් අවස්ථා කීපයකදීම කුපිතකාරී ක්‍රියා සිදු කරනු ලැබ ඇති බවයි, යුක්රේන් ආණ්ඩුවේ නිලධාරියකු වන අන්ද්රෙයි ලුස්නෙකෝ(Andriy Lysneko) පවසන්නේ.

ප්‍රධාන කැරලි නායකයකු වන ව්ලදිමීර් කොනනොෆ් ( Vladimir Kononov) අදහස් දක්වමින්,බර අවි ස්ථාපනය කරමින් කාල තුවක්කු ප්‍රහාර එල්ල කරන බවට යුක්රේන් හමුදාවට චෝදනා කරයි.

කෙසේ වුවත්, සටන් විරාමයට පෙර බොහෝ අලාභ හානි සිදු වූ 'දනියට්ස්ක්' සහ 'මරියුපෝල්' නගර වල සන්සුන් තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

රුසියාවෙන් අනතුරු ඇඟවීමක්

යුක්රේන් අර්බුදය මුල් කර ගනිමින් තවත් සම්බාධක පනවනු ලැබුනොත් තමන් ද ප්‍රති පියවර ගන්නා බවට රුසියාව යුරෝපා හවුලට අනතුරු ඇඟවීමක් කර ඇත.

යුක්රේනය 'යුදවාදී' රටක් හැටියට විග්‍රහ කරන රුසියාවේ විදේශ අමාත්‍යාංශය , එවැනි රටකට ඍජු සහයෝගය දීමේ සංඥාවක් දීම සම්බන්ධයෙන් යුරෝපා හවුල දෝෂ දර්ශනයට ලක් කරයි.

රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට එකඟ වූ බව යුරෝපා හවුල නිවේදනය කිරීමෙන් අනතුරුවයි ,මොස්කව් පාලනයේ ප්‍රකාශනය නිකුත් කෙරුණේ.

එහෙත් යුක්රේනයෙන් හමුදාව ඉවත් කර ගැනීමට රුසියාව පියවර ගත්තොත් සහ , සටන් විරාමය පවත්වා ගෙන ගියොත් එවැනි සම්බාධක පැනවීමකින් ගැලවීමට රුසියාවට හැකි බවත් යුරෝපා හවුල අවධාරණය කර තිබුණි.

.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර