ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ඕස්ට්‍රේලියානු භටයන්

  • 2014 සැප්තැම්බර් 14
Image copyright AFP
Image caption ප්‍රහාරක ජෙට් යානා අටක් ඇතුළු ඕස්ට්‍රේලියානු භටයන් හයසීයක් එමීර් රාජ්‍යයට

ඉස්ලාමීය රාජ්‍ය කැරළිකරුවන්ට එරෙහිව කෙරෙන ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා සහාය දැක්වීම පිණිස හමුදා භටයන් හයසීයක් සහ ප්‍රහාරක ගුවන් යානා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත් කර යැවූ බව ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඉරාක අගමැතිවරයාගේ අනුමැතිය පළ වූ බව පවසන ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එම තීරණය ගැනීමට මුල් වූයේ එක්සත් රාජධානිය විසින් සිදු කළ විශේෂ ඉල්ලීමක් බවයි කියා සිටියේ.

බ්‍රිතාන්‍ය සහන සේවකයකුගේ ගෙල කපා මරා දැමූ බව පැවසෙන වාර්තා සම්බන්ධයෙන්ද අගමැතිවරයා අදහස් දැක්වූවේය.

‘බ්‍රිතාන්‍ය සහන සේවකයකුගේ බෙල්ල කපා දැමීමෙන් පෙන්වන්නේ මේ ත්‍රස්තවාදී කණ්ඩායම කුරිරු දේ කරනවා කියන කරුණ පමණක් නෙවෙයි. එහෙම කරලා ඔවුන් සන්තෝසයක් ලබනවා කියන දේ’ යනුවෙන් ඔහු පැවසීය.

යුද ප්‍රහාර සඳහා ඕස්ට්‍රේලියානු සෙබළුන් යෙදවීම සම්බන්ධයෙන් මේ වනතුරු තීරණය කර නොමැති බවත් අගමැතිවරයා කියා වැඩි දුරටත් කියා සිටියේය.