ජනමත විචාරණයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය දේශපාලනයේ වෙනස්කම්

Image copyright AFP

වාද භේද නොතකා එක්සත් ස්කොට්ලන්තයක් උදෙසා මිත්‍රත්වය වර්ධනය කරන ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ ගෝර්ඩන් බ්‍රවුන් ඉල්ලා සිටියි.

හිටපු අගමැතිවරයා එම ඉල්ලීම කළේ ස්කොට්ලන්ත ජනමතවිචාරණයෙන් අනතුරුව පැවැත් වූ උද්වේගකර දේශනයකදී..

බ්‍රහස්පතින්දා පැවති ජනමතවිචාරනයේ දී ස්කොට්ලන්තවාසීන්ගෙන් බහුතරය ඡන්දය මගින් කියා සිටියේ තම භූමිය එක්සත් රාජධානියේ කොටසක් වශයෙන් දිගටම පැවතිය යුතු බවයි.

හිටපු අගමැති ගෝර්ඩන් බ්‍රවුන් තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මුළු ලෝකයේම ඇස් දැන් බ්‍රිතාන්‍ය නායකයන් දෙසට යොමු වී ඇති බවයි.

ස්කොට්ලන්තයට පුළුල් ලෙස බලය බෙදීමක් සිදු කරන බවට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම නායකයෝ ජනමත්විචාරණයට පෙර ප්‍රතිඥා දුන්හ.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේ නව තත්වය හමුවේ එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයේ ද දේශපාලන වෙනස්කම් සිදු කරන බවයි.

එසේ කිරීමේ දී, බ්‍රිතාන්‍යයට අයත් සෙසු රටවල් තුනට වඩා ස්කොට්ලන්තයට ප්‍රමුඛත්වයක් දී කටයුතු කළ යුතු බවයි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය අවධාරණය කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර