ජයලලිතාට සහයට සිනමා තරු උපවාසයක

හිටපු මහා ඇමතිනිය ජයලලිතා ජයරාම්ට සහයෝගය දැක්වීම පිණිස චිත්‍රපට ක්ෂේත්‍රයේ සිය ගණනක් රංගන ශිල්පීහු සහ චිත්‍රපට නිෂ්පාදකයෝ අද, අඟහරුවාදා උපවාසයක නිරතවූහ.

හිටපු මහා ඇමතිනිය ඇයට එල්ල වූ වංචා සහ දූෂණ චෝදනා ඔප්පු වීම නිසා බන්ධනාගාර ගත කෙරිණ.

චෙන්නේයි නුවරට රැස් වූ දමිළ චිත්‍රපට ක්ෂේත්‍රයේ කළා කරුවන් පැය අටක උපවාසයක් පවත්වනු ලැබුවේ දේශපාලනයට පිවිසීමට පෙර රංගන ශිල්පිනියක වූ ජයලලිතා ජයරාම්ට සහයෝගය පළ කිරීම පිණිසයි.

උපවාසයේ අරමුණ

දකුණු ඉන්දීය සිනමා සංසදයේ සභාපති මෙන්ම තමිල්නාඩු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වන ශරත්කුමාර් ද උපවාසයට සහභාගී වී සිටියේය.

ඔහු කියා සිටියේ උපවාසයේ බලාපොරොත්තුව මහ ඇමති ජයලලිතාට සහයෝගය දැක්වීම බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ 2001වසරේදීත් මෙවැනිම අභියෝගයකට මුහුණ දුන් ඇය ඉන් ජය ගත් බවත්, ලබා දී ඇති තීන්දුව අවසන් ප්‍රතිඵලය නොවන බැවින් නඩුවෙන් ජය ගන්නට ඇයට සුබ පැතීම එහි අරමුණ බවයි.

තමිල්නාඩුව සංවර්ධනය කිරීමට සහ නගා සිටුවීමට ඇය විශාල සේවයක් කර ඇති බව කියා සිටි ශරත්කුමාර් ඇය නැවතත් තමිල්නාඩුවට නායකත්වය ලබා දීම සිය ප්‍රාර්ථනාව බවත් ප්‍රකාශ කළේය.

ශරත් කුමාර් සමග කළ සංවාදයේදී බීබීසීය විමසා සිටියේ වංචා සහ දුෂණ චෝදනා ඔප්පු වී වසර හතරක සිර දඬුවමක් නියම වූ ඇයට සහයෝගය දක්වමින් අධිකරණ තීන්දුවට එරෙහිව උපවාස කිරීම කෙතරම් සුදුසුද යන්නයි.

අධිකරණ තීන්දුව විවේචනය කිරීමක් හෝ අභියෝගයට ලක්කිරීමක් හෝ නොකරන බව පිළිතුරු ලෙස කියා සිටි ඔහු ප්‍රකාශ කලේ උපවාසයේ අරමුණ හුදෙක් ඇයගේ අභියාචනය සාර්ථක ලෙස ඉහල උසාවි වලදී ඔප්පු කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කිරීම බවයි.

හිටපු මහා ඇමතිනිය ජයලලිතා ජයරාම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ඇයට ඇප ලබා දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා ඇති අතර ලබන සඳුදා බැන්ගලෝර් මහා අධිකරණයේදී ඉල්ලීම විභාග කිරීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර