වසර හතළිහකදී වන සත්ව ගහනය අඩකින් පහළට

මීට වසර හතළිහකට පෙර ලෝ වටා ජීවත් වූ වන සත්ව ගහනය වර්තමානය වන විට හරි අඩක් ඉක්මවා පහළ ගොස් ඇති බව මෑතකදී කරන ලද පරීක්ෂණයකින් හෙළි වේ.

ඒ අනුව ක්ෂීරපායීන්, පක්ෂීන්, උරන්ගයින්, උභයජීවීන් හා මත්ස්‍යයින් පෙර සිතුවාට වඩා බෙහෙවින් විනාශ වී ඇති බව ලෝක වනසත්ව පදනම පෙන්වා දෙයි.

අග්නිදිග ආසියාව පුරා විහිදෙන නිවර්තන කලාපීය රටවල සහ මධ්‍යම අප්‍රිකානු රටවල වෙසෙන වන සතුන්ට මෙම තත්වය තදින්ම බලපා ඇති බව ලෝක වනසත්ව පදනමේ කොලින් බට්ෆීල්ඩ් පැවසුවේය.

මීට බලපා ඇති කරුණු අතරින් නිවර්තන කලාපීය වන විනාශය ප්‍රධාන සාධකයක් වන බව ඔහු කියා සිටියේය.

මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ කැලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව මීට පෙර තිබූ නිල දත්ත හා සැසඳීමේදී සියයට හයකින් අඩු වී ඇති බවත් ඔහු පේනවා දෙයි.