ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 12 ක් මරුට

Image copyright kumar Harsh
Image caption අනතුර සිදුවී ඇත්තේ ගෝරක්පුර් දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදීය

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හිදී මගී දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් 12 දෙනෙකු වත් මියගොස් ඇති බව ඉන්දියානු දුම්රිය බලධාරීහූ පවසති.

මෙම අනතුර සිදුවී ඇත්තේ ප්‍රාන්ත අග නගරය වන ලක්නව් නගරයේ සිට කි. මී. 270 දුරින් පිහිටි ගෝරක්පුර් දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදීය.

ඇතැම් වාර්තා පැවසුවේ වාරානසී සිට ගෝරක්පුර් වෙත ගමන් කරමින් තිබූ ක්‍රිෂාර්ක් එක්ස්ප්‍රස් දුම්රිය සඥා නොතකා ගොස් ඉදිරියෙන් ගමන් කරමින් තිබූ බරුණි එක්ස්ප්‍රස් දුම්රියේ පසුපස ගැටුනු බවයි.

අවම වශයෙන් හතලිස් පස් දෙනෙකුට වත් තුවාල සිදුවූ බවයි බලධාරීන් පැවසුවේ.

“මුලින්ම පෙනුණු විදියට අනතුර සිදුවුණේ ක්‍රිෂාර්ක් එක්ස්ප්‍රස් දුම්රියේ රියදුරු සහ සහායක රියැදුරු ගේ වරදින්. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනාගේම සේවය අත්හිටවීමට කටයුතු කළා” යනුවෙන් දුම්රිය බලධාරී ආලෝක් කුමාර් බීබීසී හින්දි සේවයට පැවසුවේය.

මගී ප්‍රවාහන දුම්රිය 9000 ක් මෙහෙයවන ඉන්දියානු දුම්රිය සේවය මගින් දිනපතා මිලියන 18 ක මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කරනු ලබයි.

එසේ වුවද මෑත කාලයේදී පමණක් මගීන් සිය ගණනකට මරු කැඳවූ විශාල අනතුරු සංඛ්‍යාවක් සිදුව තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර