හොංකොං සාකච්ඡා සිදු නොවන ලකුණු

Image copyright Reuters

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි බැස සිටින ක්‍රියාධරයන් සහ හොංකොං බලධාරීන් අතර පැවැත්වීමට නියමිතව තිබුන සාකච්ඡා ආරම්භ වීමටත් ප්‍රථම බිඳ වැටී ඇති හැඩක් දක්නට ලැබේ.

උද්ඝෝෂකයන් සහ සිය උද්ඝෝෂණයට විරෝධය පළ කරන්නන් අතර ප්‍රචණ්ඩ ගැටුම් හට ගැනීමෙන් අනතුරුව සාකච්ඡාවලින් ඉවත්වීම හැර විකල්පයක් නැති බවයි ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණය මෙහෙයවන ශිෂ්‍ය නායකයන් පවසන්නේ.

සතියක් පුරා පැවති උද්ඝෝෂණවලින් අනතුරුව ප්‍රකාශයක් කළ හොංකොංහි ප්‍රධාන විධායක සී වයි ලියුන්ග්, උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කර තිබුණි.

හොංකොංහි නව පාලකයා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නිදහස් ඡන්දයෙන් තෝරා ගත යුතු බවට උද්ඝෝෂකයන් ඉල්ලා සිටින නමුත් උද්ඝෝෂණය සාර්ථක වනු නැති බවයි, චීනය පවසන්නේ.

හොංකොං ප්‍රධාන විධායක සී වයි ලියුන්ග් ඉල්ලා අස්නොවන බව පවසයි.

'හොංකොං රජය නියෝජනය කරමින් ප්‍රධාන ලේඛකාධිවරයා සමග සාකච්ඡාවක් ශිෂ්‍ය සංවිධාන ඉල්ලා සිටින්නේ එක කරුණක් ගැන සාකච්ඡා කිරීමට. ඒක හොංකොංහි ව්‍යවස්ථා සංවර්ධනය' බව ප්‍රධාන විධායක ලෙයුන්ග් වාර්තාකරුවන් හමුවේ කියා සිටියේය.

‘සිසුන්ගේ සවිස්තර ලිපිය අප සතුව තිබෙනවා. ව්‍යවස්ථා සංවර්ධනය ගැන සිසුන් සමග කථා බහ කිරීමට හොංකොං රජයේ නියෝජිතයා වශයෙන් ප්‍රධාන ලේඛකාධිවරයා මම දැන් පත් කරනවා. මැතිවරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යායුතු නිසා මම ඉල්ලා අස්වෙන්නේ නැහැ’ ඔහු තව දුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර