මිනිත්තු පහළොවකට අලියකු බිම

Image copyright AP

අලි ඇතුන් සහ ‘රයිනෝ’ දැවැන්තයන් මුහුණ දී ඇති ජීවිත අන්තරාය ඉස්මතු කරමින් ලෝකය දැනුවත් කිරීමේ මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලොව පුරා දියත් කිරීමේ වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කොට ඇත.

දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට දඩයක්කාරයන් විසින් හැම මිනිත්තු පහළොවකටම එක අලියකු බිම හෙලන බවයි, ඉහත කී දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කරන සංවිධායකයන් පවසන්නේ.

Image caption ඇත් දළ ජාවාරම

එම අපරාධය දිගටම කර ගෙන ගියොත් ඉදිරි වසර විස්ස ඇතුළත අලි ඇතුන් සහ ‘රයිනෝ’ ජීවීන් මිහිතලයෙන් වඳ වී යන අනතුරක් පවතින බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

අලි ඇතුන් දළ ලබා ගැනීමට ද, රයිනෝ ජීවීන් එම සතුන්ගේ අඟ ලබා ගැනීමට ද මරා දමනු ලැබෙති.

Image caption අඟ නිසා ජීවිතය අහිමි වෙන රයිනෝ

ඇත් දළ සහ රයිනෝ අං හැඩ වැඩ කරන කම්හල් සහ ඒවා විකුණන වෙළෙඳ සැල් වහාම වසා දමන ලෙසයි, ඉහත කී උද්ඝෝෂණ ව්‍යාපාරයේ සංවිධායකයන් ඉල්ලා සිටින්නේ.

එම අපරාධ වලට එරෙහි නීතිය දැඩි කරන මෙන් ඉල්ලා සිටින ඉහත කී සංවිධායකයෝ අලි ඇතුන් සහ ‘රයිනෝ’ වැනි දුර්ලභ ගණයේ දැවැන්තයන් වඳ කරන අපරාධකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පනවන ලෙස ඉල්ලීමක් ද කරති.

‘රයිනෝ’ ජීවීන් මරා හා නොමරා එම සතුන්ගේ අඟ කපා ගැනීමට එක හේතුවක් වී තිබෙන්නේ එහි වාජීකරණ බලයක් ඇති බවට මතයක් පැතිර යාමත් සමඟයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර