මෙක්සිකෝවෙන් සමූහ මිනී වලක්

Image copyright Reuters

මෙක්සිකෝවේ ඉගුවාලා නගරයෙන් සමූහ මිනී වලක් හමු වී තිබේ.

මීට සතියකට පමණ පෙර ප්‍රදේශයේ සිසුන් පිරිසක් පොලිසිය හා ගැටුම් ඇති කර ගැනීමෙන් පසු සිසුන් හතළිස් තුන් දෙනෙකු අතුරුදහන් වූ අතර මෙම සමූහ මිනී වලේ තිබෙන මල සිරුරු ඔවුන්ගේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය.

ඝාතනයන්ට වගකිය යුත්තන් සොයා ගැනීමට කළ හැකි සියල්ල කරන බවට ප්‍රාදේශීය ප්‍රධාන පොලිස් පරීක්ෂක ටොමාස් සේරෝන් ප්‍රතිඥා දුන්නේය.

ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට ඉහත කී සිසුන් ද සහභාගී වූ අතර එය විසුරුවා හැරීම සඳහා පොලිසිය වෙඩි තබා තිබුණි.

මෙහිදී කිහිප දෙනෙකු මරණයට පත් වූ අතර වෙඩි තැබීමට වගකිය යුතු පොලිස් භටයන් කිහිප දෙනෙකු මේ වන විට රැඳවුම් භාරයේ පසු වෙයි.