ජයලලිතාට ඇප නොදෙයි

Image copyright Getty

තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් විසින් ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කොට තිබූ අයදුම්පත කර්ණාටක මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරිණ.

ජයලලිතාට කොන්දේසි සහිතව ඇප ලබා දීමට විරෝධයක් නොමැති බව රජයේ නීතඥයා විසින් ප්‍රකාශ කර තිබියදීයි අධිකරණය මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

දූෂණ චෝදනා

වසර දහ අටක කාලයක් විභාගයට ගත්, ඇයට එරෙහිව පැවරුණු දූෂණ චෝදනා නඩු විභාගයෙන් හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් වැරදිකාරිය හැටියට තීන්දු කෙරිණ.

ඇය වසර හතරක සිර දඬුවමකට යටත් කෙරුණ අතර ඊට අමතරව ඉන්දියානු රුපියල් කෝටි සීයක දඩයක් ද නියම කරන ලදී.

හෙළි නොකරන ලද ක්‍රියාමාර්ග වලින් ඇමෙරිකානු ඩොලර් කෝටියක පමණ මුදල් සම්භාරයක් උපයා ගැනීම සම්බන්ධයෙනුයි, මහ ඇමැතිවරියට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබුණේ.

සෞඛ්‍ය හේතු

සමස්ත ඉන්දීය අන්න ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකා, තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් වෙනුවෙන් සෞඛ්‍ය හේතු මත, ඇප ඉල්ලුම් පත ගොනු කොට තිබුනේ ප්‍රධාන පෙළේ නීතිඥයකු වන රාම් ජෙත්මලානි විසින්.

ජයලලිතා බරපතල ලෙස දියවැඩියා රෝගයෙන් පෙලෙන බවයි ඔහු අධිකරණයට දන්වා සිටියේ.

අධික රුධිර පීඩනයෙන් හා හෘද රෝගවලින් පෙලෙන බවත් නීතිඥ ජෙත්මලානි ඇප ඉල්ලා සිටිමින් සිය අයදුම්පත මගින් අධිකරණයට දන්වා සිටියේය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර