කෙන්යාවේ ජනාධිපති ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ

Image caption තමන්ට එරෙහි චෝදනා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනාවලට මුහුණ දීම පිණිස හේග් නුවරට පැමිණෙමින් කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටින ප්‍රථම රාජ්‍ය නායකයා බවට පත් විය.

එහෙත් වසර හතකට පෙර පැවැත්වුණු මැතිවරණයෙන් අනතුරුව පැවති කෝලාහල වලදී මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන ලද අපරාධ සම්බන්ධව තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සියල්ල ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

බදාදා නඩු වාරයේ අරමුණ වුයේ මෙම නඩුව විභාගයට ගත යුතුද නැතහොත් ඉවත දැමිය යුතුද යන්න තීරණය කිරීමයි.

එහිදී කෙන්යාවේ ආණ්ඩුව ලබා දිය යුතු වැදගත් ලියකියවිලි ලබා දෙන තුරු දින නියමයක් නොමැතිව නඩු විභාගය කල් තැබිය යුතු බවට පැමිණිලි පක්ෂය තර්ක කළේය.

පැමිණිලි පක්ෂය චෝදනාවන් සනාථ කිරීමට අපොහොසත් වී ඇති බැවින් ජනාධිපති කෙන්යාටා මෙවැනි අධිකරණයක් හමුවේ පෙනී නොසිටිය යුතු බවට ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ තර්ක කළහ.