ඉබෝලා වැළඳුනු එක්සත් ජාතීන්ගේ සේවකයෙක් මිය යයි

Image copyright Reuters

ජර්මනියේ ලයිප්සිග් (Leipzig) නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඉබෝලා රෝගය වැළඳුනු එක්සත් ජාතීන්ගේ සේවකයකු මිය යයි.

නම හෙළි කර නොමැති සුඩාන ජාතිකයකු වූ ඔහු, ලයිබීරියාවේ සිට ප්‍රතිකාර සඳහා ලයිප්සිග් (Leipzig) නගරයේ විශේෂඥ රෝහලක් වෙත ගෙන එනු ලැබුවේ ඉකුත් සතියේදීයි.

සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිත කාමරයක රඳවා සිටි ඔහුට අත්හදා බැලීමේ ඖෂධ ලබා දෙන ලදී.

ඔහු, ඉබෝලා රෝගයට ජර්මනියේ ප්‍රතිකාර ලබා දෙමින් සිටි තිදෙනකුගෙන් එක් අයෙක්.

එක් රෝගියකුගේ තත්වය යහපත් අතට හැරී තිබේ.

මේ අතර, ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළෙන් බ්‍රිතාන්‍යයට පැමිණෙන මගීන් අතර රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් හඳුනා ගැනීමේ වැඩ සටහනක් අද, අඟහරුවාදා සිට ආරම්භ කොට තිබේ.

රෝගය දරුණු ලෙස පැතිර යමින් තිබෙන බටහිර අප්‍රිකානු රටවල සිට පැමිණෙන මගීන්ගේ සිරුරේ උෂ්ණත්වය මැන බැලීමත්, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමත් මේ යටතේ සිදු කෙරේ.