ප්‍රාණ ඇපකරුවෝ නිදහස ලබති

Image copyright AFP

පිලිපීනයේ මුස්ලිම් බෙදුම්වාදීන් විසින් මාස හයකට වැඩි කාලයක් රඳවාගනු ලැබ සිටි ජර්මන් ජාතික ප්‍රාණ ඇපකරුවන් දෙදෙන නිදහස ලබා ගුවන් මගින් මැනිලා නුවරට පැමිණියහ.

ස්ටෙෆාන් ඔනොනෙක් (Stefan Ononek) සහ ඔහුගේ සහකාරිය වන හෙන්රිකේ ඩිඑලින් (Henrike Dielen) සිකුරාදා ජෝලෝ දකුණු දුපතේදී නිදහස් කරන ලද්දේ අබු සයියාෆ් (Abu Sayyaf) නම් මුස්ලිම් බෙදුම්වාදී කණ්ඩායම විසින්.

මොවුන් නිදහස් කර ගැනීම සඳහා දෙන ලද සමීප සහයෝගය පිළිබඳව ජර්මානු විදේශ අමාත්‍යාංශය විසින් පිලිපීන රජයට ස්තුතිය පල කරනු ලැබ ඇති නමුත් මේ මුදාගැනීම කෙසේ සිදුවීද යන්න පිළිබඳව තොරතුරු දක්වා නැති බවයි පැවසෙන්නේ.

අල් කයිදා සංවිධානය සමග සම්බන්ධතා ඇති අබු සයියාෆ් කණ්ඩායම තර්ජනය කර තිබුණේ ඔවුන් නියම කළ මුදල් ප්‍රමාණය ලබා නොදුන හොත් ඔනොනෙක් ගේ ගෙල සිඳ මරා දමන බව පවසමින්.

ඩොලර් මිලියන 5.6 ක මුදලක් ගෙවූ හෙයින් මෙසේ නිදහස් කරන බවයි අබු සයියාෆ් කණ්ඩායම පවසා තිබුණේ.

මීට අමතරව ඇමරිකාව ඉස්ලාම රාජ්‍යයට එරෙහිව කරන යුද මෙහෙයුම් වලට ජර්මනිය දක්වන සහයෝගය නතර කරන ලෙසට ද ඔවුන් බලකරතිබිණ.