ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බිඳුණ සුසුම්නාවට පණ දෙන වෙදකමක්

සුෂුම්නාව බිඳීමෙන් ආබාධිත තත්වයට පත් අංශභාග රෝගීන්ට නැවත ඇවිදීමේ හැකියාව ලබා දෙන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ ඇත.

පෝලන්ත ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් සහ ලන්ඩනයේ වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් එක්ව පුරා වසර හතළිහක් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුවයි එම හාස්කම සිදු කරනු ලැබ තිබෙන්නේ.

එම ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ නාස් කුහරයේ තිබෙන සෛල විශේෂයක් කොඳු නාරටියේ හානියට පත් ස්ථානයට බද්ධ කිරීම මගින්.

පිහි ඇනුමක් හේතුවෙන් සුෂුම්නාවට හානි සිදුව ඇවිදීමට නොහැකිව ආබාධිත තත්වයේ සිටි පෝලන්ත ජාතිකයෙකුට ඉහත කී ප්‍රතිකාරය මගින් නැවත සිය දෙපයින් නැගී සිටීමේ භාග්‍ය උදා වී ඇත.

'ස්නායු කෙඳි නැවත වර්ධනය විය හැකි බව අපි මෙහිදී සනාථ කර තිබෙනවා.එමගින් බිඳුණ සුෂුම්නාවකට යළි ක්‍රියාකාරිත්වයක් ලබා දිය හැකියි. අපේ කාර්යභාරය හානි වූ ස්ථානයට පාලමක් සැපයීම.මේක තමයි අංශභාග රෝගියා නැවත නැගී සිටින අවස්ථාව' පර්යේෂණ කණ්ඩායමට නායකත්වයදුන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජියොෆ් රෙයිස්මන් පැවසයි.

සුෂුම්නාව හානියට පත් රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවල හැරවුම් ලක්ෂයක් ලෙසයි, විද්‍යාඥයින් මේ සොයා ගැනීම හඳුන්වන්නේ.