‘කත්ති’ විරෝධය අවසන්

‘කත්ති’නමැති දෙමළ චිත්‍රපටයට ඊයේ විරෝධය පළ කළ තමිල්නාඩුවේ එල්ටීටීඊ සංවිධානයට පක්ෂග්‍රාහී දෙමළ කණ්ඩායමක් එය ප්‍රදර්ශනය කිරීමට එකඟත්වය පල කරති.

එම චිත්‍රපටය පෙන්වීමට විරෝධය පල කරමින් ඊයේ, සඳුදා චිත්‍රපට ශාලා දෙකකට ගල් මුල් වලින් පහර දී තිබිණ.

බීබීසී තමිල්නාඩු වාර්තාකරු කේ.මුරලිදරන් පැවසුවේ චිත්‍රපටය නිෂ්පාදනය කළ, ලයික සමාගමේ නම සියලු ප්‍රචාරණ මාධ්‍යවලින් ඉවත් කිරීමට එම සමාගම එකඟවී සිටින බවත් මේ නිසා විරෝධතාකරුවන් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ දීමට එකඟවී ඇති බවයි.

ගල් මුල් ප්‍රහාර

ඊයේ, සඳුදා චිත්‍රපටය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම සිදු කෙරෙමින් තිබුන බවත් රාත්‍රී 11.30 ට පමණ එම පිරිස පැමිණ සත්‍යම් චිත්‍රපට ශාලාවට ගල් ගසා වීදුරු කඩා බිඳ දැමූ බවයි බීබීසී තමිල්නාඩු වාර්තාකරු කේ.මුරලිදරන් පැවසුවේ.

එම පිරිස තවත් චිත්‍රපට ශාලාවකට පහර දී ඇති බව පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් පොලීසිය පස් දෙනකු අත් අඩංගුවට ගෙන සිටින බවත් ප්‍රකාශ කළේය.

විරෝධය

විරෝධය පළ කරන්නේ චිත්‍රපටයට නොව එය නිෂ්පාදනය කළ ලයිකා සමාගමට බව පවසන වාර්තාකරු කේ.මුරලිදරන් ලයිකා සමාගම අයිති ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකුට බවත් ඔහු ව්‍යාපාරික වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉතාමත්ම කිට්ටු පුද්ගලයෙක් බවත් ප්‍රකාශ කළේය.

‘කත්ති’ චිත්‍රපටය ලයිකා සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපටයක් යන්න චිත්‍රපටයෙන්ද , ප්‍රචාරක දැන්වීම්වලින්ද, චිත්‍රපටයේ බැනර්වලින්ද ඉවත් කිරීමට ලයිකා සමාගම එකඟවීමෙන් පසු චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබී ඇති බවත් බීබීසී තමිල්නාඩු වාර්තාකරු සඳහන් කළේය.